ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කරයි

ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කරයි

July 14, 2025   09:19 pm

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කර තිබේ.

මෙම ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම අද (14) සිදු කරන ලද අතර එහි මුළු ප්‍රතිව්‍යුහගත ණය වටිනාකම සෞදි රියාල් 516,951,065.02කි. 

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල්  ලබා දෙමින් සෞදි අරාබි රාජ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවය.

එමඟින් කිසිදු බාධාවකින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන්හි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකියාව ලැබිණි. 

එපමණක් නොව, සෞදි සංවර්ධන අරමුදල විසින් ලබා දෙන ලද ණය සහනදායී කොන්දේසි මත ලබා දී ඇති අතර එය රටේ සමස්ත ණය බරට සහනයක් වී ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ගිවිසුම් අත්සන් කළ අතර සෞදි අරාබි පාර්ශවය වෙනුවෙන් සෞදි සංවර්ධන අරමුදල හි ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් ඒ අල්මර්ෂාඩ් මහතා ගිවිසුම් අත්සන් කරන ලදී. 

ඊට සමගාමීව, මෙම සංචාරයේදී සෞදි සංවර්ධන අරමුදලේ ණය මූල්‍යයනයෙන් ඉදි කරන ලද 'වයඹ විශ්ව විද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය' උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා ද සෞදි සංවර්ධන අරමුදලේ  ඉහළ මට්ටමේ නියෝජිත පිරිස සහභාගී විය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් කාර්යය අවසන් වීම නිසැකවම සෞදි අරාබි රාජ්‍ය සහ ශ්‍රී ලංකා රජය අතර ගැඹුරු හා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මග පාදනු ඇති බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.