මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී

June 23, 2025   06:21 pm

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබූ අතර මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී.

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස සුරියප්පෙරුම මහතා වසර ගණනාවක් ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනයට මැදිහත් විය. එහිදී ලෝක බැංකුවේ පහසුවෙන් ව්‍යාපාරකරණයට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව, සුළු පරිමාණ ආයෝජකයින්ගේ රැකවරණය පිළිබඳ ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව  74 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා ඉහළට ගෙන ඒමට ඒ මහතා සමත් විය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ හා විද්‍යා විශ්වවිද්‍යාලයෙහි (Management and Science University) ආචාර්ය උපාධිධාරියකුද වේ. ඔහු එක්සත් රාජධානියේ, කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරි සංගමයේ (ACCA) සාමාජිකයෙකි.

ඒ මහතා මූල්‍ය විශුද්ධිකරණයට එරෙහි කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරමින්  කටයුතු කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැයිස්තුගත කිරීම් සඳහා වන ප්‍රතිපත්තිද ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සකස් කිරීමටද දායක වී තිබේ. එසේම, ඔහු පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරි තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා තිබේ.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මීට පෙර මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.