අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ව අධිකරණයට රැගෙන එයි
June 10, 2025 12:17 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති පොදු සමාව අනීතීක ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදුකරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබීය.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සිරකරුවෙකු ජනපති පොදු සමාව යටතේ අනීතික ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා පසුගිය ඉරිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු ඊයේ රාත්‍රී අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.