
උණවටුන සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උණවටුන සංචාරක පොලීස් ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම හෝටලේම නවාතැන්ගෙන සිටි 24 හැවිරිදි නොච්චියාගම පදිංචි තරුණයෙකි.
තමා නවාතැන් ගෙන සිටින කාමරය අසලට නිරුවතින් පැමිණි පුද්ගලයෙකු තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බව මෙම රුසියානු කාන්තාව විසින් සංචාරක පොලීසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ උණවටුන සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (28) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය.



















































