සයුරෙන් එතෙර
ට්‍රම්ප් වැඩ අරඹයි - පුටින්ගෙනුත් සුබපැතුම්
November 8, 2024 12:22 pm
දෙවන වරටත් අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ ප්‍රධානී ධුරය සඳහා කාන්තාවක්ව පත්කර තිබේ.
එසේ පත්කර ඇත්තේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කළ සුසෑන් වයිල්ස් ය.
අමෙරිකානු ජනපතිගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානතම තනතුර ලෙස ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ ප්‍රධානී තනතුර සැලකෙයි.
එය ජනපතිට දැඩි බලපෑමක් මෙන්ම ඔහුගේ එදිනෙදා රාජකාරි කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක බලාධිකාරියක් සහිත තනතුරකි.
ජනාධිපතිවරයාගේ දෛනික කාලසටහන සැකසීම සහ රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු සහ නීති සම්පාදකයින් සමග සම්බන්ධතා පැවැත්වීම එම ධුරයේ ප්‍රධාන වගකීමකි.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සුබපැතුම් එක්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි..
ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් පුටින් පවසා තිබුණි.
2024 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට 47 වැනි ජනාධිපතිවරයා වශයෙන් 2025 ජනවාරි 20 වනදා රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.