වන ගහනය අතින් ලෝකයේ තුන්වැනි තැන ලංකාවට
August 3, 2024 02:56 pm
වන ගහනය සියයට 30 සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් තුන අතර ශ්රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
ශ්රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් බව කාරක සභාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වාදී ඇත.
ලෝකයේ රටවල් තුළ පවතින වනාන්තරවල ප්රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව ද එම නිලධාරීන් සඳහන් කරයි.
කෙසේවෙතත් ශ්රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් විමසා තිබේ.
2018 වන විට හෙක්ටයාර මිලියන 1.4 ක පමණ වනාන්තර ගැසට් කර ඇති බවත් ගැසට් මගින් ප්රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්දහසක් පමණ පවතින බවත් ඊට පිළිතුරු ලබාදෙමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර තිබුණි.
ඒ අනුව එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදී ඇත.