ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ තීරණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ තීරණය මෙන්න

September 18, 2023   09:41 pm

ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිය සංයුතිය හා ක්‍රීඩක වගකීම පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතුව ඇතැයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙයි.

මේ අතර ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසන්නේ පවතින අඩුපාඩු සහ වැරදි මඟහරවාගනිමින් ඉදිරි ලෝක කුසලානය සඳහා සූදානම් විය යුතු බවය.

"මුලින්ම කියන්න ඕනේ අපි අවසන් තරගයට සුදුසුකම් ලබන්න හොඳින් ක්‍රීඩා කළා. අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් ජයග්‍රහණයක්. එහෙත් අවසන් තරගය පරාජය වූ ආකාරය බලාපොරොත්තු කඩකරවන සුළුයි. ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ටත් එය පොදුයි. මම හිතන්නේ අපි මෙතැන් සිට ගොඩනැගිය යුතුයි. ක්‍රීඩකයන් තුළ විශ්වාසය නැවත ඇතිකළ යුතුයි. දැන් ඔවුන්ට විරාමයක් ලබාදී ඔවුන් නිවෙස්වලට ගොස් නැවත නව ජීවයක් ලබා නැවත එක් වූ විට අප නතර තැන සිට කණ්ඩායම යළි ගොඩනැගීමටි කළ යුත්තේ. එක් අතකින් ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියකට යාමට තරම් මෙය යම් ආකාරයක දිරිගැන්වීමක් වේවි. ඉන්දියාව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, වගේ ප්‍රබල කණ්ඩායම් සමග තරග වදින විට ස්ථාවරව දක්ෂතා දැක්වීම වැදගත් වන බව මෙයින් පැහැදිලි වුණා. මේ නිසා එය අපිට ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් දීරිමත් කිරීමට වො දා ගත හැකි වේවි."

ඊයේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඉන්දියා කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

කණ්ඩායම් දෙකම පන්දුවාර 100ක් ක්‍රීඩා කරනු දැක ගැනීම සඳහා ඉතා ඉහළ මිලක් ගෙවමින් ප්‍රවේශපත් ලබාගෙන පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට සමස්ත තරගයේදීම නැරඹීමට හැකිවූයේ පන්දුවාර 21යි පන්දු 3ක් පමණි.

ඉනිම ලකුණු 50කට සීමා කරගනිමින් ශ්‍රී ලංකා පිල දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් නායක දසුන් ශානක ඊයේ තරගයෙන් පසුව ප්‍රේක්ෂකයින්ගෙන් සමාව අයැද සිටියේය.

"විශාල වශයෙන් මෙහි පැමිණි ප්‍රේක්ෂකයින්ට ස්තූති කරන්න මං කැමතියි. ඔබේ අපේක්ෂා සුන් කිරීම ගැන මම ගොඩක් සමාව ඉල්ලනවා. ඒත් ලැබෙන විශාල සහායට මම ස්තූතිවන්ත වෙනවා. ක්‍රීඩකයෝ ලෙස අපි ඔබ සියලුදෙනාට ආදරෙයි. ස්තූතියි."

තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට ගත් තීරණය සහ පිතිකරුවන්ගේ ක්‍රීඩා විලාසය පිළිබඳ දැඩි විවේචන එල්ලවන පසුබිමක ඊයේ තරගයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් අබේසිංහ ඊයේ තණතීරුව සහ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතපසුවීම් පිළිබඳ මෙලෙස අදහස් පළකළා.

"අපි කාසීයේ වාසිය එක දින්නා. ඒ පිච් එකේ අපි බැට් කරන්න ඕනේ. බැට් කරන්න ඕනේ කියලා මම කියන්නේ ඒ තණතීරුව බොහොම වියළි. හැබැයි ඉතින් අපිට පොඩි පාඩුවක් වුණා. කාසිසේ වාසියෙන් පස්සේ වැස්සා. වැස්සට පස්සේ ක්‍රීඩා පිටිය ආවරණය කරානේ. ආවරණය කරාම අපි කියනවා පොඩ්ඩක් විතර තෙතමනයක් එනවා. හැබැයි පළවෙනි පන්දුවාර 10න් පස්සේ දෝලනය අඩු වුණා.  අපිට ගහන්න තිබුණේ අඩුම ගාණේ පළවෙනි පන්දුවාර 10ය ටෙස්ට් තරගයක් වගේ. ඊයේ පළවෙනි පන්දුවාර 10ය බෝලේ අතහරිමින් කඩුල්ලේ ඉන්න උත්සාහ කරන්න ඕනේ. බේරෙන්න ඕනේ. ඊයේ ඒ අය අධි පීඩනයකට අහුවුණා." 

මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පෞද්ගලික දක්ෂතා පිළිබඳ දැඩි විවේචන එල්ල වුවත්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක මෙන්ම යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු අතරට එමින් සහ පන්දුවෙන් දැක්වූ දස්කම් විචාරක පැසසුමට ලක්වුණි. 

ශ්‍රී ලංකා පිල ප්‍රධාන ක්‍රීඩකයන් පස්දෙනකු නොමැතිව ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළද එම ක්‍රීඩකයන් සියලු දෙනා මීළඟට ඉන්දියාවේ පැවැත්වෙන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම සමඟ එක් වනු ඇත.