
පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 32ක් ඇතුළු සැකකරුවන් 37 දෙනා අද (28) ඇප මත මුදාහැරුණි.
"අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේ දැඩි ඇප කොන්දේසි හමුවේ මෙම සැකකරුවන් මුදාහැරි බවය.
ඉකුත් වසරේ මැයි 09 වනදා රටේ ඇතිවූ කලබලකාරී තත්ත්වය අතරතුර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ඝාතනය කිරීම පිළිබඳ නඩුව අද යළි ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගෙන තිබුණි.
ඒ සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණ යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.
ඒ අනුව, දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 32ක්
මෙන්ම ඇප මත මුදාහැරි සැකකරුවන් 05 දෙනා ද අධිකරණය හමුවේ අද පෙනී සිටියේය.
එහිදී සැකකරුවන් 37 දෙනා සම්බන්ධයෙන් මීට පෙර නඩු වාරයේදී ඔවුන්ගේ නීතීඥයින් ඉල්ලා තිබූ ඇප ඉල්ලීම්වලට අදාළ නියෝගය ප්රකාශයට පත්කෙරුණි.
ඒ අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් 32 සහ ඇප මත මුදාහැර සිටන විත්තිකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබීය.
එමෙන්ම සැකකරුවන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.



















































