
කැබ් රථයේ වනඅලියෙකු ගැටීමෙන් සිදුවු අනතුරින් තුවාල ලැබූ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය ඊයේ (02) රාත්‍රී 9.30ට පමණ අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ 7කණුව ආසන්නයේදී අනතුරට ලක්ව ඇත.
රූගත කිරීමක් සිදුකර නැවත අනුරාධපුර නවාතැන වෙත පැමිණෙමින් සිටින අතරතුර වනඅලියෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා සහ කැබ්රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනා ඊයේ රාත්‍රීයේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බවය.
කෙසේ වෙතත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඒ මහතා අද අලුයම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණි.
ඔහු මේ වන විට එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
තුවාල ලැබූවන් අතර ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරා වන සමන් ඇන්තනී මහතාද සිටින අතර ඔහු තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශෛල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අනතුරත් සමග කැබ් රථය මතට වනඅලියා ඇද වැටීමෙන් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුව තිබුණි.
අනතුර සිදුවූ ස්ථානය නිතර වනඅලි මාරුවන ස්ථානයක් වන අතර ඒ පිළිබඳ සඳහන් පුවරුවක්ද මාර්ගයේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ නිසි ආලෝක තත්ත්වයක් සහ ආරක්ෂාවක් නොමැති වීම නිසා වනඅලි ගැටීමෙන් නිතර මෙවැනි අනතුරු සිදුවන බවය.



















































