
බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා වැඩසටහන පිළිබඳව උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් භාගයේ සිදුවූයේ යැයි කියන යුද අපරාධ පිළිබඳව කියැවෙන මෙම වාර්තා චිත්‍රපටය ජූනි 14 වන දින බ්‍රිතාන්‍ය නාලිකාවක් වන චැනල් 4 මගින් විකාශය කරනු ලැබීය.
අදාළ වාර්තා චිත්‍රපටය මගින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පිළිබඳව මේ වනවිට පරීක්ෂා කෙරෙමින් පවතින බව එම කොමිසම සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
චැනල් 4 වාර්තා චිත්‍රපටය පිළිබඳව විමර්ශනය කෙරෙන බවත්, ජනාධිපති කොමිසම මගින් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා එය එක් විෂය ක්ෂේත්‍රයක් ලෙස යොදාගෙන ඇති බවත් එම කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ අවසන් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳව ඇතුළත් චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය කරන ලද වාර්තා වැඩසටහන ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබිණි.

















































