
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියානු පාබල හමුදා ඇතුළු වී තිබේ.
ඒ අනුව මේ වන විට යුක්‍රේන හමුදා සහ රුසියානු හමුදා අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිලියන එකයි දශම හතරක ජනතාවක් රැඳිසිටින කාර්කිව් නගරයේ ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස ද යුක්‍රේන රජය දැනුම් දී තිබේ.
මේ වන විට රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නගරයේ ස්වභාවික ගෑස් නලයක් ද පුපුරාගොස් ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රටපුරා ප්‍රදේශ රැසක දරුණු ගැටුම් හටගෙන ඇති බවට වාර්තා වන අතර රුසියානු හමුදා, ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු ප්‍රදේශවලින් ද දරුණු ප්‍රහාර එල්ල කරමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ඉගර් කොනර්ෂෙන්කොව් සඳහන් කර ඇත්තේ, සමස්තයක් ලෙස රුසියානු සන්නද්ධ හමුදාව යුක්‍රේනයේ හමුදා ඉලක්ක 821කට ප්‍රහාර එල්ල කර ඇති බවය.
රේඩාර් මධ්‍යස්ථාන 48ක් ද එම ඉලක්ක අතර පවතින බව සඳහන් කර ඇති ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වාදෙන්නේ, එම ප්‍රහාර හමුදා ඉලක්ක වෙත පමණක් සිදුකළ බවත් නිවාස හෝ පොදුස්ථාන කිසිවක් ප්‍රහාරවලින් විනාශ වී නොමැති බවත්ය.
කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සටන තවදුරටත් ඉදිරියට ගෙන යන බවය.
තම රටේ බටහිර නගරවලට ප්‍රහාර එල්ල වුවද හැකි සෑම ආකාරයකින්ම සටන් වදින බව ඔහු ප්‍රකාශ කර තිබේ.
මේ අතර යුක්‍රේනය පවසන්නේ මේ වන විට රුසියානු හමුදා සෙබළුන් 4,300ක් පමණ ඝාතනය වී ඇති බවය.
එමෙන්ම ගුවන් යානා 27ක් හෙළිකොප්ටර් 26ක් සහ යුද ටැංකි 146ක් විනාශ කළ බවද එම වාර්තා සඳහන් කළේය.
රුසියානු ප්‍රහාරවලින් මේ වන විට යුක්‍රේන ළමුන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද නිල වාර්තාවල දැක්වේ.
යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ රුසියානු යුද ටැංකි ඇතුළු වාහන 20කට අධික ප්‍රමාණයක් කාර්කිව් පළාතේ ගිනි ගෙන විනාශ වී ඇති අයුරු දැක්වෙන වීඩියෝ පෙලක් මේ වන විට හුවමාරු වෙමින් පවතී.
පවතින යුද ගැටුම් හමුවේ යුක්‍රේන වැසියන් ලක්ෂ 3කට වැඩි පිරිසක් එරටින් පළාගොස් තිබේ.
තවත් දහස් සංඛ්‍යාත පිරිසක් රටින් පිටව යාමේ අපේක්ෂාවෙන් පොලන්ත දේශසීමාවේ රැඳීසිටින බවද විදෙස් වාර්තා සඳහන් කළේය.
මේ අතර රුසියානු අක්‍රමණයන්ට එරෙහිව මුහුණදීම සඳහා යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබේ.
ඒ අනුව අවි ආයුධ ඇතුළු යුද උපකරණ රැගත් ගුවන් යානා දෙකක් පොලන්ත සීමාව බලා පිටත් කර හැරීමට නියමිත බව සඳහන් වේ.
රුසියාව විසින් මරියුපෝල් නගරය ආසන්නයට එල්ල කළ ප්‍රහාරයකින් ග්‍රීක ජාතිකයින් 10 දෙනෙකු මියයාමට එරෙහිව මෙලෙස යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර ඇත.
මේ වන විට අමෙරිකාව, ජර්මනිය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම යුක්‍රේනය වෙත අවි සැපයීමට ඉදිරිපත්ව සිටී.
වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
















































