
බොරලැස්ගමුවේ දී පොලිස් නිලධාරියකු මරණයට පත් කරමින් රිය පැද වූ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරිය ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියම කළේය.
කෙසේ වෙතත් සැකකාර වෛද්‍යවරිය මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ පසුවෙයි.
ඉකුත් සැප්තැම්බර් 30 දා අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව වික්‍රමරත්න මාවතේදී මෝටර් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වු අතර එහි සිටි ඔහුගේ පුතුන් දෙදෙනා සහ බිරිඳ ද තුවාල ලැබීය.
පොලිස් නිලධාරීයා පැදවූ මෝටර් රථය අනතුරට ලක් කල ජීප් රථය පදවා තිබුණේ 39 හැවිරිදි වෛද්‍යවරියක් විසිනි.
ඒ අනුව අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව ඔක්තෝබර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
පොලීසිය සඳහන් කර තිබුණේ ජීප් රථය පැදවූ වෛද්‍යවරිය අනතුර වන අවස්ථාවේ බීමතින් සිටි බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වූ බවයි.
නමුත් සිද්ධිය සම්බන්ධයෙන් කළුබෝවිල ශීක්ෂණ රෝහලෙන් ලබාදුන් වාර්තාවක සඳහන්ව ඇත්තේ වෛද්‍යවරිය රිය අනතුර සිදුවන අවස්ථාවේදී බීමත්ව සිට නොමැති බවයි.
කෙසේවෙතත් වෛද්‍යවරිය අනතුර වන අවස්ථාවේ බීමතින් සිටි බවට පොලීසිය යළි තහවුරු කර සිටියේය.
සැකකාර වෛද්‍යවරිය අනතුර වූ අලුයමට පෙර දින රාත්‍රියේ සාදයකදී මත්පැන් වැනි යමක් පානය කරන අයුරු එම ස්ථානයේ සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
මෙවන් පසුබිමක රිය අනතුරට අදාළ නඩුව අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනි.
සැකකාර වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් අද දින අධිකරණයට හමුවේ පෙනී සිටීම අපහසු බව නීතීඥයන් මඟින් අධිකරණයට දන්වා තිබූ අතර ඇයව මේ මස 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
https://youtu.be/LI6Orn0YQJ8




















