දුලාංජලීට හොර සල්ලි දුන්නේ රොලික් ඔගස්ටස්ලු?

දුලාංජලීට හොර සල්ලි දුන්නේ රොලික් ඔගස්ටස්ලු?

March 26, 2014   11:06 am

හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගේ අතට රුපියල් විසි ලක්ෂයක ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු තොගය දුන් බව කියන ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරිකයා රොලික් ඔගස්ටස් ප්‍රිසාන්ත පෙරේරා බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

දුලාංජලී විසින් කුරුඳුවත්ත ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කිරීමට ගිය ලක්ෂ 20ක මුදලට අමතරව මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ තිබී රු.5000 මුදල් නෝට්ටු 424 ක්ද, මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයද හමුවී තිබේ.

මෙම ඇඟළුම් කාර්මාන්ත ව්‍යාපාරිකයාගේ ඇඟළුම් කර්මාන්තයට රොහාන්-දුලාංජලි යුවළද යම් මුදලක් ආයෝජනය කර ඇති බවත්, මෙම මුදල් ලබා දී ඇත්තේ එකී ආයෝජනවල ලාභය ලෙස බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

ඒ අනුව මෙම ව්‍යාපාරිකයා දුලාංජලී-රොහාන් පවුල සමග කාලයක සිට සමීප සබඳතා පවත්වා ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත් දුලාංජලී ප්‍රේමදාස මහත්මිය, තම මුදල් තැන්පත් කිරීම සඳහා බැංකුවට ගිය අවස්ථාවේදී අදාළ හොර නොට්ටු පිළිබඳ බැංකු කළමනාකාරිත්වය විසින් විමසන ලද අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහෙත් ඇය මෙම හොර නෝට්ටු මුදල් ජාවාරමට සම්බන්ධවී ඇති බවට මෙතෙක් තොරතුරක් අනාවරණය වී නැති බව පොලීසිය සඳහන් කරයි.