කංජිපානි ඉම්රාන් ට ඇප තැබූ තිදෙනාව අධිකරණයට කැඳවයි

කංජිපානි ඉම්රාන් ට ඇප තැබූ තිදෙනාව අධිකරණයට කැඳවයි

January 4, 2023   06:17 pm

ඉන්දියාවට පැනගොස් ඇති බව වාර්තා වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් වෙනුවෙන් ඇප බැදුම්කරවලට අත්සන් තැබූ පුද්ගලයින් තිදෙනෙකුට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි යවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කර තිබේ.

පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සහ ඊට ආධාර අනුබල ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද (04) කැදවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව කංජිපානි ඉම්රාන් ඇප බැඳුම්කරවලට යටත්ව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මීට පෙර නියෝග කර තිබුණි.

එලෙස ඇප මත මුදාහරිනු ලැබූ කංජිපානි ඉම්රාන් මේ වන විට රහසිගතව විදේශගතවී ඇති බවට තොරතුරු ලැබී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පෙන්වා දී ඇත.