මදුෂ්ගේ අවසන් කටයුතු සිදුකෙරේ

මදුෂ්ගේ අවසන් කටයුතු සිදුකෙරේ

October 21, 2020   08:57 pm

වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ මාකදුරේ මධූෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරුවේ මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබූ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් ඊයේ (20) අලුයම මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය.

අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ මාකඳුරේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානූකූල බිරිඳට ලබාදෙන ලෙසය.

ඒ අනුව ඊයේ පස්වරුවේම ඔහුගේ දේහය මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙනු එනු ලැබීය.

සුළු වේලාවක් එහි තැන්පත් කර තිබුණු දේහය ඊයේ පස්වරුවේම මහරගම - පමුණුව ප්‍රදේශයේ පිහිටි මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස වෙත රැගෙන ගියේ නීත්‍යානූකූල බිරිඳගේ එකඟතාවය මතය.

අද පස්වරුව දක්වා එහි තැන්පත් කර තිබුණු දේහය මහරගම නගරය හරහා කිසියම් පිරිසක් රැගෙන ගියේ ඔහුට වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පළකරමිනි.

ඉන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු මහරගම - ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.