කැබිනට් පුටු මාරුව - ඇමතිවරු කිහිපදෙනෙක් වැඩ අරඹයි
August 16, 2021 07:01 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර 7 ක් සංශෝධනය කරනු ලැබීය.
මෙම සංශෝධනයේදී සෞඛ්‍ය සහ අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධූර වෙනස්කර තිබීම විශේෂත්වයකි.
නව සංශෝධනයට අදාළව අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍යධුරය දැරූ දිනේෂ් ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍යධුරය හිමිවිය.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කර ඇති අතර ඇය අද දිවුරුම් දුන්නේ ප්‍රවාහන අමාත්‍ය ධුරයේය.
ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරමින් සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.
විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ගාමිණී ලොකුගේ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරු අමාත්‍යධුරවල දිවුරුම් දුන්නේ සුම් තක්ෂණය ඔස්සේය.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම අමාත්‍යධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුනි.
ප්‍රවාහන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයට සමුදීම සඳහා එහි ගියාය.
ඒ අතර නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩ භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී ඔහු, ධුරයෙන් සමුගෙන යන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කතාබහක ද නිරත වුණි.
අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තේය.
මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.