
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති CA (Writ) 109/2026 දරන රිට් පෙත්සමට අදාළව, කථානායකවරයා ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවලට එරෙහි වැඩිදුර කරුණු දැක්වීම් අද (18) අභියාචනාධිකරණය හමුවේ සිදුකෙරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.
මෙම නඩුවේදී කථානායකවරයා වෙනුවෙන් මතු කර ඇති ප්‍රධාන මූලික විරෝධතා දෙක වනුයේ,
කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණ පාර්ලිමේන්තු වරප්‍රසාද හා මුක්තියෙන් ආරක්ෂා වන බැවින් ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි වීම.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනතේ සඳහන් “ලිපිකරු” යන්න වර්තමාන “මහ ලේකම්වරයා” ලෙස අර්ථකථනය කළ නොහැකි බැවින්, එම පනත යටතේ විනය බලය මහ ලේකම්වරයාට හිමි නොවීම.
මහ ලේකම්වරිය සහ වගඋත්තරකරුවන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ප්‍රතිතර්ක
මහ ලේකම් කුෂානි රෝහණධීර වෙනුවෙන්
පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා, කථානායකවරයාගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර පෙත්සම විභාගය සඳහා නොතීසි නිකුත් කරන ලෙස ඉල් සිටියේය.
බ්‍රිතාන්‍ය අධිකරණ තීන්දු සහ මහජන මන්ත්‍රී මණ්ඩලයේ පරිචය උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ කාර්ය මණ්ඩල පරිපාලන කටයුතු පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් ආවරණය නොවන බවත්, ඒවා අධිකරණ පරීක්ෂාවට යටත් කළ හැකි බවත්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(3) ව්‍යවස්ථාව යටතේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය යන්නෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයම අදහස් වන බවත්, නීතිය අර්ථකථනය කිරීමේදී වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පසුබිම සහ අරමුණ සැලකිල්ලට ගත යුතු බැවින් පනතේ “ලිපිකරු” යන්න වර්තමාන “මහ ලේකම්වරයා” ලෙස අර්ථකථනය කළ යුතු බවත් ඔහු තර්ක කළේය.
විපක්ෂ නායක සහ සංවිධායකවරුන් වෙනුවෙන්
හතරවන, හයවන සහ දොළොස්වන වගඋත්තරකරුවන් වන සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා කරුණු දක්වමින්, ස්ථාවර නියෝග යටතේ නොපිහිටුවන ලද කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තු කාරක සභාවක වරප්‍රසාද හිමි නොවන බව ප්‍රකාශ කළේය. පෙත්සම්කරුගේ වැඩ තහනමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැක්වූ විරෝධය මෙහිදී වාර්තාගත වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන්
පැමිණිලි පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, පත්කිරීමේ බලධාරියා විනය බලධාරියාද විය යුතු බවයි. පැරණි තනතුරු නාමය නිසා පනතේ 7 වැනි වගන්තිය ක්‍රියාත්මක නොවන බවට කථානායකවරයාගේ තර්කය පිළිගන්නේ නම්, අනෙකුත් වගන්තිවල නීතිමය පදනම මෙන්ම උපදේශක කාරක සභාවේ නීතිමය පදනම සහ ඒ මත ගත් වැඩ තහනම් කිරීමේ තීරණයද ප්‍රශ්නයට ලක්වන බව ඔහු අවධාරණය කළේය.
පෙත්සම්කරුගේ පාර්ශ්වයෙන්
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා, කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව යනු පාර්ලිමේන්තුවේ කාරක සභාවක් නොව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පරිපාලන කටයුතු නියාමනය කිරීමට වෙනම පනතකින් පිහිටුවූ පරිපාලන ආයතනයක් බැවින් එයට පාර්ලිමේන්තු වරප්‍රසාද හිමි නොවන බව යළි අවධාරණය කළේය.
බිමල් රත්නායක සහ වෛද්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටීමින් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා, කථානායකවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට සහාය පළ කළ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි ව්‍යවස්ථාව යටතේ මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට තර්ක කළේය.
මීට පෙර නීතිපතිවරයා ඉදිරිපත් කළ සමථ යෝජනාවට කථානායකවරයා එකඟ නොවීම හේතුවෙන්, නීතිපතිවරයා මෙම නඩුවේ පෙනී සිටීමෙන් ඉවත් වී ඇති අතර, මේ වන විට කිසිදු වගඋත්තරකරුවකු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටියි.
සියලු පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් අවසානයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නඩුවට සහාය වූ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නීතිඥවරුන්ට ස්තුතිය පළ කළේය.
ඒ අනුව, ලිඛිත දේශන 2027 ජනවාරි 08 වැනි දින හෝ එදිනට පෙර ගොනුකරන ලෙස නියම කරන ලදී.
මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා 2027 පෙබරවාරි 10 වැනි දින නම් කරන ලදී.















































