
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම සහ අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවන් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව, මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගිතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
මෙමගින් අදාළ විශ්වවිද්‍යාල අතර පහත සඳහන් අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කොළඹ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය: අධ්‍යාපනික සහයෝගිතාව වැඩි දියුණු කිරීම, ප්‍රකාශන සහ අධ්‍යයන තොරතුරු ද්‍රව්‍ය හුවමාරු කිරීම, අධ්‍යයන කාර්ය මණ්ඩල, පර්යේෂණ විද්වතුන් හා සිසුන් හුවමාරු කර ගැනීම මෙන්ම තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ තායිලන්තයේ මහමකුට් බෞද්ධ විශ්ව විද්‍යාලය: ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.
මොරටුව විශ්ව විද්‍යාලය, චීනයේ Xi'an Jiaotong-Liverpool විශ්වවිද්‍යාලය සහ ස්පාඤ්ඤයේ බාසිලෝනාහි Universitat La Salle: පර්යේෂණ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය (RMIT): සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම සහ එමගින් සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් ප්‍රදානය කිරීමට අදාළ දෙපාර්ශ්වය අතර වන ගිවිසුම් (Umbrella Cotutelle Agreement).

















































