
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීම සහ තොරතුරු තහවුරු කිරීමේ කටයුතු අද (17) දින සිට ආරම්භ කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.
මෙහි අභියාචනා සහ විරෝධතා කැඳවීමේ කාල සීමාව නොවැම්බර් 15 දිනෙන් අවසන් වීම හේතුවෙන්, තොරතුරු යථාවත් කිරීමෙන් පසු ප්‍රසිද්ධ කරන ලද නව සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයේ නම් සඳහන් පිරිස සඳහා මෙම අවස්ථාව ලබා දී ඇත.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන පියවරයන් කිහිපයක් පහත පරිදි වේ.
-උපුටා ගැනීම-
නව අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්රතිලාභ ගෙවීම සඳහාම වෙන් වූ සමාජ ආරක්ෂණ ප්රතිලාභ ගිණුමක් විවෘත කළ යුතුය.
ගිණුම් ආරම්භ කිරීම සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම ආරම්භ කිරීම 2026.11.17 දින සිට තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්රතිලාභ තොරතුරු ඒකකයෙන් සිදු කරනු ලැබේ.
බැංකු ගිණුම රාජ්‍ය බැංකුවක ගිණුමක් විය යුතුය.
බැංකු ගිණුම විවෘත කිරීමෙන් පසු ප්‍රතිලාභීන් නැවත තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ ගිණුම් තොරතුරු යථාවත් කිරීම අනිවාර්ය වේ.
සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ ලබා ගන්නා සියලු ප්‍රතිලාභීන් තමාට අයත් වෙනත් බැංකු ගිණුම් තොරතුරු පරීක්ෂා කිරීම සඳහා තම කැමැත්ත ප්‍රකාශ කිරීම දිවුරුම් ප්‍රකාශයක් මගින් කළ යුතුය. සුබසාධක ප්රතිලාභ මණ්ඩලය හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් තොරතුරු අදාළ බැංකු සමඟ සම්බන්ධීකරණයෙන් පරික්ෂා කර බැලීමට මෙම දිවුරුම් ප්‍රකාශය මගින් ප්‍රතිලාභියා සිය කැමැත්ත පල කළ යුතු වේ. අදාළ දිවුරුම් ප්‍රකාශයේ ආකෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්රතිලාභ තොරතුරු ඒකකයෙන් ලබා ගත හැක.
දැනටමත් සක්‍රිය අස්වැසුම බැංකු ගිණුමක් තිබෙන ප්‍රතිලාභීන් නව ගිණුම් විවෘත කිරීම කළ යුතු නොවේ.
නව ප්‍රතිලාභීන්ට සහ දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට නොවැම්බර් මස අස්වැසුම ප්රතිලාභ දිමනාව 2026.11.27 දින ලබා දීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් අපේක්ෂා කෙරේ.
-උපුටා ගැනීම අවසන්-

















































