
පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහෙමින් පවතින බව පවසමින්, වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
ඔහුගේ නීතිඥ සල්මාන් සෆ්ඩාර් විසින් ප්‍රසිද්ධ කරන ලද විශේෂ ලිපියක 74 හැවිරිදි හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, "මෙම දැඩි තත්ත්වය මාව ජීවත්වී ආපසු නොපැමිණිය හැකි තැනකට ගෙන යමින් තිබේ" යනුවෙනි.
තමන් මොළයේ රුධිර වහනයක් (brain haemorrhage) සහ හෘදයාබාධයකට ලක්වීමේ දැඩි අවදානමක සිටින බවත්, තම හදවත දැනටමත් හානි වී ඇති බවත් වෛද්‍යවරුන් තමාට පවසා ඇති බව ඔහු එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.
එමෙන්ම, තම බිරිඳ වන බුෂ්රා බිබී පසුගිය අප්‍රේල් මාසයේදී දෘෂ්ටි විතානය ගැලවී යාමකට (detached retina) ලක්ව රහසිගතව සිටියදීම ශල්‍යකර්මයකට භාජනය වූ බව සඳහන් කරන ඉම්රාන් ඛාන්, තවදුරටත් ඇයට අවශ්‍ය ශල්‍යකර්මයක් සිදු නොකළහොත් ඇයට පෙනීම සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇතැයි තමා දැඩි බියකින් පසුවන බවද ප්‍රකාශ කර තිබේ.
තමාව දිනකට පැය 22ක් දක්වා හුදෙකලා සිරගත කිරීමකට ලක් කර ඇති බව පවසන ඉම්රාන් ඛාන්, පවුලේ සාමාජිකයින්ට තමා බැලීමට පැමිණීමට හෝ පොත්පත් සහ රූපවාහිනී පහසුකම් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා දී නොමැති බව සඳහන් කරයි.
එසේම, පසුගිය වසර පුරා තම නීතිඥයින් දකින්නට ලැබී ඇත්තේ අවස්ථා 4කදී පමණක් බවත්, මෙම තත්ත්වය තම මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපා ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, පාකිස්තාන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය තාරික් ෆසාල් චෞධරි මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, බන්ධනාගාරය තුළ ඉම්රාන් ඛාන් වෙත අවශ්‍ය සියලු පහසුකම් අඛණ්ඩව සපයා ඇති බවය.
ඔහු දැනට පාකිස්තානයේ "වඩාත්ම පහසුකම් සහිත සිරකරුවා" බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
බන්ධනාගාර බලධාරීන් පවසන පරිදි, ඉම්රාන් ඛාන් වෙත සතිපතා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවන් සිදු කෙරෙන අතර, මීට සතියකට පෙර විශේෂ එන්නතක් ලබා දීම සඳහා ඔහුව රජයේ රෝහලකට ගෙන ගිය අවස්ථාවේදීද වෛද්‍යවරුන් ඔහු "සාමාන්‍ය තත්ත්වයෙන්" (clinically stable) පසුවන බව තහවුරු කර ඇත.
විවිධ චෝදනා 100 කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටින ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට රඳවා සිටින අතර, ඔහුගේ බිරිඳද පසුගිය වසරේ සිට සිරගත කර ඇත.
2018 සිට 2022 දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ, හිටපු නායකයෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් ඛාන්, මෙලෙස සිරගතව සිටියදීත් පාකිස්තාන දේශපාලනය තුළ දැඩි බලවේගයක් ලෙස රැඳී සිටියි.
ඔහුගේ මෙම තත්ත්වය සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මීට පෙරද ඔහුගේ ආධාරකරුවන් මෙන්ම හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින්ද අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස අඛණ්ඩව ඉල්ලීම් කර තිබේ.

















































