
සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මැඩලීමටත්, දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපණ කිරීමටත් එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමක් මත, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් (Charlotte) ක්ෂේත්‍ර කාර්යාලයට අනුයුක්ත විශේෂ කණ්ඩායමක් අද (16) සිට 22වනදා දක්වා මෙරට රැඳෙමින් අදාළ කටයුතුවල නිරවන බව සඳහන් වේ.
මෙරට ක්‍රියාත්මක වන වංචා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ මෙම කණ්ඩායම එක්ව කටයුතු කරනු ඇත.
දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා සහාය වීම, විශේෂිත තාක්ෂණික දැනුම ලබා දීම සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන වංචා ජාල හඳුනාගෙන ඒවායේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීම මෙම විශේෂ සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
මෙම සංචාරය අතරතුර, FBI නිලධාරීන් විමර්ශන ක්‍රමවේද, ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය (Digital Forensics) සහ නඩු විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට නියමිතය.
මෙම සහයෝගීතාව මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචාවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, අපරාධ ක්‍රියාකාරකම්වල ගමන් මඟ සොයා ගැනීමටත්, එම වංචාවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව වඩාත් ශක්තිමත් නඩු ගොනු කිරීමටත් විමර්ශකයන්ට විශාල රුකුලක් ලැබෙනු ඇත. එමෙන්ම, සයිබර් අපරාධ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භූමිය ප්‍රයෝජනයට ගැනීමෙන් දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාල වැළැක්වීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ද මෙමඟින් තවදුරටත් තහවුරු කෙරේ.
මෙම සුවිශේෂී සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා පවසා සිටියේ, විදේශ රටවල ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින බවත්, එම අපරාධ ජාල නැවැත්වීමට දැඩි ලෙස කැපවී සිටින බවත්ය.
“FBI ආයතනයේ විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුම සහ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව යොදා ගැනීමෙන්, වංචාවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත්, තවත් අමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් මෙම වංචාවලට ගොදුරු වීම වැළැක්වීමටත් අපට හැකි වනු ඇතැයි” තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් හා සහායෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාල ඒවා ක්‍රියාත්මක වන ඕනෑම ස්ථානයකදී හඹා ගොස් නීතිය හමුවට ගෙන ඒමටත්, අමෙරිකානු පුරවැසියන් මූල්‍ය සූරාකෑමෙන් ආරක්ෂා කිරීමටත් ජාත්‍යන්තර හවුල්කාර ආයතන සමඟ එක්ව අඛණ්ඩව කටයුතු කරන බව එක්සත් ජනපදය අවධාරණය කරයි.

















































