
2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට රජයේ වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.
රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පෙරේදා දිනයේදී සංකේත වැඩවර්ජනයක නිරත වූ අතර, හෙට දිනයේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර, වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන්ගේ සංගමය ද අද (15) සිට ලබන 17 වැනිදා දක්වා රාජකාරි කටයුතුවලින් ඉවත්ව අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.
2027 වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය තුළ වාරිමාර්ග තාක්ෂණ සහායක නිලධාරීන් සඳහා කිසිදු සහනයක් ලබා නොදීම මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මේ අතර, හෙට (16) දිනයේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
එහි සභාපති උපුල් කුමාර මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තුරු මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම, අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අනිද්දා (17) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා කොළඹදී අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
මේ අතර, විධායක නිලධාරීන්ට අයවැය මගින් ලබාදී ඇති දීමනා තමන්ට ද ලබාදිය යුතු බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, අදාළ ඉල්ලීම් සඳහා ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී සිය සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි.
මේ අතර, මෙවර අයවැය යෝජනා මගින් පෞද්ගලික බස් රථ කර්මාන්තය සඳහා කිසිදු සහනයක් ලබාදී නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.



















































