
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීමට අද (14) පියවර ගෙන තිබේ.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩසටහනකදීය.
එහිදී රාජ්‍ය සෞඛ්‍ය සේවා කළමනාකරණ සහකාර තනතුර සඳහා 36 දෙනෙකු, ගබඩාකරු තනතුර සඳහා 27 දෙනෙකු, සුළු සේවා පාලක තනතුර සඳහා 06 දෙනෙකු සහ සෞඛ්‍ය කාර්ය සහයක තනතුර සඳහා 154 දෙනෙකුට මෙහිදී පත්වීම් ලබා දී තිබේ.
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපාලනමය මෙහෙයුම් හා සහායක සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම නව පත්වීම් ලබා දී ඇත.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ දිවයිනේ විවිධ රෝහල්වල සිදුකළ නිරීක්ෂණ චාරිකාවලදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වූ බවය.
ඒ අනුව එම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රාජ්‍ය සේවයේ මානව සම්පත් අවශ්‍යතා සමාලෝචනය කර බඳවා ගැනීම් සිදු කිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.
එම ක්‍රියාවලිය යටතේ අවශ්‍ය අනුමැතීන් ලබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් විධිමත්ව ක්‍රියාත්මක කර ඇති බවත් අනුමැතිය හිමිවූ තනතුරු සඳහා අවශ්‍ය බඳවා ගැනීම් මේ වන විට අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
තවද මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600ක කණ්ඩායමක් බඳවා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම නව ස්ථීර පත්වීම්ලාභීන්ටද රජය ක්‍රියාත්මක කරන වැටුප් සංශෝධනවල ප්‍රතිලාභ හිමිවන බව සඳහන් කළ අමාත්‍යවරයා ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක්ද, ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්ද ලබා දීමට නියමිත බවද පැවසීය.



















































