
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට (08) යෙදී තිබේ.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතර ප්‍රධාන ස්ථානයක් හිමි කරගන්නා දීපාවලී උත්සවය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.
විෂ්ණු දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කර යහපත හා ආලෝකය ජයග්‍රහණය කිරීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ එක් අරමුණකි.
අඳුර දුරු වී ආලෝකය උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් සිය නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සමරනු ලබයි.
නව සඳ උදාවට සමගාමීව පැවැත්වෙන දීපාවලී උත්සවය තුළින් අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කෙරේ.
මේ අතර, අද (08) දිනට යෙදී ඇති දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, එම නිවාඩුව වෙනුවෙන් අහිමි වන පාසල් දිනය ආවරණය කිරීම සඳහා මෙම මස 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, මෙම පළාත් දෙකෙහි පිහිටි සිංහල මාධ්‍ය පාසල් සහ මුස්ලිම් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇත.
මීට පෙර, දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට ද තීරණය කර තිබුණි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ.















































