
‘වසර දෙකයි රටට සුබයි’ යන තේමාව යටතේ රජය මේ වන විට රට පුරා රැස්වීම් මාලාවක් පවත්වමින් සිටියද, වත්මන් තත්ත්වය අනුව ‘වසර දෙකයි රටට සුබයි, මුළු කොළඹම ගලයි’ යනුවෙන් පැවසීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපතිවරයා නව වැව් ඉදිකරන බවට ප්‍රකාශ කළද, ඊයේ දිනයේදී මුළු කොළඹ නගරයම එක් ජලාශයක් බවට පත්වූ බවත්, කොළඹ මහ නගර සභාවේ බලය ලබාගන්නා අවස්ථාවේ මාස හයක් ඇතුළත මුළු කොළඹ නගරයම බබළවන බවට පොරොන්දු වූවත්, කාණු පද්ධති පිරිසිදු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම නිසි පරිදි සිදුකර නොමැති බව ඊයේ රාත්‍රියේදී පැහැදිලි වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (07) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ පැවති සමගි තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරියට, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාට සහ කොළඹ පුරපතිනියට පමණක් පුනරුදය උදා වී ඇති නමුත් ජනතාවට එම පුනරුදය උදා වී නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසීය.
සුරපුරයක් නිර්මාණය කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ එක් වැස්සකින්ම ජනතාවගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත්, ක්‍රියාවට වඩා ප්‍රචාරයට මුල්තැන දීම, බොරු පොරොන්දු සහ ජනතාව රැවටීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇති බවත් ඔහු චෝදනා කළේය.
බලයට පත්වීමෙන් පසු කාණු පද්ධති පිළිසකර කර ගංවතුර කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබුණද එය සිදුකර නොමැති බවත්, නියඟය මෙන්ම අධික වර්ෂාපතනයද ඇතිවිය හැකි බවත්, එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන්ගේ බලපෑම් ඉදිරියේදීත් ඇතිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත් කාණු පද්ධති සහ ජල කළමනාකරණය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජාතික ජන බලවේගයේම පුරපතිනියක් සිටියදීත් කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, අගනුවරේ ජල කළමනාකරණය නිසි පරිදි සිදුකළ නොහැකි ආණ්ඩුවක් රට ගොඩනඟන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
මේ වන විට ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගී සිටින බවත්, මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සහ ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ යන අපේක්ෂාව යථාර්ථයක් බවට පත් නොකිරීම හේතුවෙන් ජනතාව මහමඟට බැසීමට පෙළඹී ඇති බවත් ඔහු පැවසීය.
එවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ විරෝධයට බිය වී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කළ හැකි නව පනත් ගෙන ඒමට උත්සාහ කරන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක් ලෙස හඳුන්වමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමන්ව ආරක්ෂා කරගැනීම සඳහා පනතක් ගෙනවිත් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා පනතක් ගෙන එන බව පවසන ආණ්ඩුවම රටට සංවිධානාත්මකව බොරු පවසමින් ජනතාව රවටන බවත්, මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ ආණ්ඩුව රටට හානිදායක ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට මෙරට කර්මාන්තශාලා පවා වැසී යන තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, ලෝකය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වේගයෙන් ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව තවමත් එකතැන පල්වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
තමන් සුහුරු අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය තබා සිටියද, එම වැඩපිළිවෙළ පවා රට තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කර තිබෙන බැවින් ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක කිරීමට නම් රටේ නිදහස ආරක්ෂා කරගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
එහෙත් මේ වන විට රටට මූල්‍ය නිදහසක් නොමැති බවත්, මූල්‍ය ගැටලුවක් ඇති වූ සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
ජාත්‍යන්තර සබඳතා තුළද රටේ ස්වෛරීභාවය පිළිබඳ ගැටලු පවතින බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, ශ්‍රී ලංකාව බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහාද ණය ලබාගෙන ඇති බව පැවසීය.
2028 වසරේ සිට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය ගෙවීමට සිදුවන බවත්, එම අවස්ථාව වන විට රට පවතින්නේ කුමන තත්ත්වයකද යන්න තීරණය කළ හැකි වනු ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අද වන විට රට පවතින්නේ භයානක තත්ත්වයක බවත්, බොරු, රැවටිලි සහ මුළාවන් හමුවේ තරුණ පරපුර ඇතුළු මිලියන 22ක ජනතාවක් රැවටීමට ලක්ව ඇති බවත් ඔහු චෝදනා කළේය.
2027 මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම් කාලසීමාව අවසන් වන බවත්, ගෝලීය අභියෝගවලට මුහුණ දෙන අතරතුර 2028 වසරේ සිට ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට වැඩි ණය මුදලක් ගෙවීමට සිදුවන බවත් ඔහු පැවසීය.
එම ණය ගෙවීමේ ඉලක්කය කරා යාමට අවශ්‍ය ආර්ථික වර්ධන වේගයක් රට තුළ පවතින්නේද, සෘජු විදේශ ආයෝජන සහ අපනයන වර්ධනය වී තිබේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එබැවින් සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන, රට සිටින ස්ථානය නිවැරදිව හඳුනාගෙන, බොරුවෙන් තොර යහපත් හා ප්‍රගතිශීලී දේශපාලන ගමනක් කරා යා යුතු බවද ඔහු අවධාරණය කළේය.
මෙරට තරුණ පරපුර බොහෝ අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තරගවල ගොදුරු බවට පත්වන බවත්, ක්‍රියාත්මක කළ නොහැකි බලාපොරොත්තු සහ අපේක්ෂා ඇති කරමින් දේශපාලනඥයන් තම බලය තහවුරු කරගන්නා අතර ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් අසරණ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ සමගි ජන බලවේගයේ සමාජ ගිවිසුම හරහා තරුණයන්ගේ දක්ෂතා, හැකියාවන්, නිපුණතා සහ කැපවීම මත ඉදිරියට යා හැකි පරිසරයක් නිර්මාණය කරන බවද ඔහු සඳහන් කළේය.
එම සමාජ ගිවිසුම ජනතාව රවටන හෝ නොමඟ යවන ගිවිසුමක් නොවන බවත්, නිදහසින් පසු බිහි වූ සෑම දේශපාලන පක්ෂයක්ම රාජ්‍ය බලය සහ බදු ගෙවන්නන්ගේ මුදල් යොදාගනිමින් රට වෙනුවෙන් කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ බලයක් නොමැතිව සිටියදීත් රට වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළේ සමගි ජන බලවේගය බවටද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
සෝබනය වෙනුවට සංවර්ධනයත්, සුබසාධනයත්, සහනත් ජනතාවට ලබාදිය යුතු බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, තරුණයන්ට ප්‍රගතියේ ඉණිමඟේ පහළ සිට ඉහළට ගමන් කිරීමට කුසලතා මත අවස්ථා නිර්මාණය කළ යුතු බව පැවසීය.
දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සම්බන්ධතා වෙනුවට පුද්ගලයන්ගේ කුසලතා, දක්ෂතා සහ හැකියාවන් මත ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















































