
අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මරණකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (06) පස්වරුවේ බටගොඩ ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසක මත්පැන් සාදයක් පවත්වා ඇත.
ඉන් අනතුරුව මියගිය පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් සැකකරුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන පරුෂ වචනයෙන් බැන වැදි ඇති බව සඳහන්ය.
ඒ සමගම ත්‍රිරෝද රථයකින් තියුණු ආයුධයක් සමග මත්පැන් සාදය පැවැත්වූ නිවසට පැමිණ සැකකරු සහ මරණකරු අතර සිදුවූ බහින්වීම දුරදිග ගොස් ඇත.
එහිදී සැකකරු සතුවූ තියුණු ආයුධය මරණකරුගේ පපු ප්‍රදේශයට වැදී ඔහු බිම ඇදවැටී ඇති බව සඳහන්ය.
ඉන් බියට පත් වූ සැකකරු විසින් පහරකෑ පුද්ගලයාව තම ත්‍රිරෝද රථයෙන් ගල්පහත රෝහලට රැගෙන ගොස් තිබේ.
අනතුරුව ඔහුව හොරණ රෝහලට මාරු කිරීමට පියවර ගන්නා අතරතුරදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පානදුර අපරාධ කොට්ඨාස පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















































