
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රය තුළ කාන්තාවන්ගේ නියෝජනය වැඩිවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය අර්ථවත් සහභාගීත්වයක්, දේශපාලන බලපෑමක් සහ සැබෑ නායකත්වයක් බවට පත්කිරීම ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය බවත් එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන්ට වෙන්කළ 25% ක කෝටාව (මනාප ක්‍රමය) මඟින් ඇති කළ බලපෑම සහ ඉගෙනගත් පාඩම් විශ්ලේෂණය කරමින් 'Beyond Numbers'නමින් එළිදැක්වූ නව වාර්තාවක් සමඟින් මෙම අදහස් දැක්වීම සිදු කෙරිණි.
එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සංවිධානය කරන ලද උපායමාර්ගික සාකච්ඡාවකදී මෙම වාර්තාව එළිදැක්වුණු අතර, ඒ සඳහා රජයේ නියෝජිතයන්, දේශපාලනඥයන්, කාන්තා නායිකාවන්, සිවිල් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.
පළාත් පාලන ආයතන සඳහා හඳුන්වා දුන් 25% ක කාන්තා කෝටාව හේතුවෙන්, දේශපාලනයේ කාන්තා නියෝජනය ආසන්න වශයෙන් 2% සිට 23% දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇති බව එහි සඳහන් වේ.
සංඛ්‍යාත්මකව නියෝජනය ඉහළ ගියද, පක්ෂ මට්ටමින් පවතින බාධක, මැතිවරණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සහ දේශපාලන ජාලයන් වෙත ඇති සීමිත ප්‍රවේශය, අසමාන නායකත්ව අවස්ථා, හිරිහැර සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා මෙන්ම කාන්තාවන්ගේ නායකත්ව හැකියාව ප්‍රශ්න කරන සමාජ ආකල්ප හේතුවෙන් කාන්තාවෝ තවදුරටත් දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ඔවුන් පෙන්වා දෙයි.
සුළු ජාතික ප්‍රජාවන්ට අයත් කාන්තාවන්, ආබාධිත කාන්තාවන්, තරුණ කාන්තාවන්, ග්‍රාමීය කාන්තාවන් සහ ගැටුම්වලට මුහුණ දුන් කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියට ඇතුළත් කරගැනීමේ වැදගත්කම සාකච්ඡා වලදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
මෙම වාර්තාවේ සොයාගැනීම් සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීම හරහා, පළාත් සහ ජාතික මට්ටමින් අනාගත ප්‍රතිපත්ති සංශෝධන, වෙනස්කම් සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය සහ නායකත්වය තවදුරටත් නංවාලීම සඳහා මෙම ක්‍රියාමාර්ග ඉමහත් පිටුවහලක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය පෙන්වා දෙයි.



















































