
ගෝලීය උෂ්ණත්වය ඉහළයාමත් සමඟ සේවා ස්ථානවල උෂ්ණත්වයට සිදුව ඇති බලපෑම හමුවේ 2040 වසර වන විට ශ්රී ලංකාවට පූර්ණ කාලීන රැකියා 145,000ක පමණ ශ්රම ඵලදායිතාවක් අහිමි විය හැකි බවට ජාත්යන්තර කම්කරු සංවිධානය අනාවරණය කර තිබේ.
එම සංවිධානය විසින් සිදු කරන ලද නවතම අධ්යයනයකින් පෙන්වාදී ඇත්තේ මේ හේතුවෙන් ශ්රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ ද සේවකයින්ට, ඵලදායිතාවයට සහ ආර්ථිකයන්ට දැනටමත් බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.
විශේෂයෙන් අධික උෂ්ණත්වය හේතුවෙන් සේවකයන්ට වැඩි වශයෙන් විවේක ගැනීමට සිදුවීම, වැඩ කිරීමේ වේගය අඩාල වීම සහ සෞඛ්ය ගැටලු යනාදිය මෙම තත්ත්වයට හේතු වන බව එම වාර්තාවේ සඳහන් වෙයි.
ඒ අනුව ඉදිරි දශක කිහිපය තුළ ශ්රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ ආර්ථික හා රැකියා ක්ෂේත්රයට එල්ල වන බලපෑම් තවදුරටත් උග්ර විය හැකි බවයි ඔවුන් සඳහන් කර ඇත.
මෙම තත්ත්වය තුළ 2040 වසර වන විට ශ්රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට සිදුවන සමස්ත අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 26ක් පමණ වනු ඇති බව ද ජාත්යන්තර කම්කරු සංවිධානය පෙන්වාදෙයි.
විශේෂයෙන් එළිමහනේ හා දැඩි ශාරීරික ශ්රමයක් වැය කරන කෘෂිකර්මාන්තය හා සේවා යන ක්ෂේත්ර අධික උෂ්ණත්වය හේතුවෙන් බලපෑමට ලක්වන ක්ෂේත්රයන් අතර ප්රමුඛ වන බව එම සංවිධානය පවසයි.
මෙම තත්ත්වයෙන් සේවකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ශ්රී ලංකාව තුළ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්යය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ සකස් කළ යුතු අතර සේවා ස්ථානවල උෂ්ණත්වය පාලනය කිරීමේ ක්රමවේද කඩිනමින් හඳුන්වා දිය යුතු බව ද ජාත්යන්තර කම්කරු සංවිධානය සඳහන් කර තිබේ.
සූර්ය රශ්මිය හා උෂ්ණත්වය අධික වේලාවන් මඟහැරෙන සේ වැඩකරන වේලාවන් සංශෝධනය කිරීම, සේවා කාලය අතරතුර විවේක ගැනීමට ක්රමවත් කාලසටහන් සකස් කිරීම, සේවා ස්ථානවල සෙවන හා ප්රමාණවත් ජලය සපයා දීම යනාදිය ඒ අතරට ඇතුළත් වෙයි.



















































