
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ වියළි මිරිස් බහාලුම් රැසකට අදාළ ප්රමිති අනුමැතිය නොලැබීම හේතුවෙන්, ඒවා මුදා හැරීමට නොහැකිව රේගු භාරයේ ඇති බව රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පවසයි.
රේගු මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වියළි මිරිස් තොග නිදහස් කිරීම සඳහා ආහාර පරීක්ෂණ අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්රී ලංකා ප්රමිති ආයතනය යන ආයතන ත්රිත්වයේම අනුමැතිය අත්යාවශ්ය බවය.
එම අනුමැතීන් නොමැතිව රේගු පද්ධතිය හරහා භාණ්ඩ නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට වියළි මිරිස් අඩංගු බහාලුම් 64ක් පමණ නිදහස් කරගැනීමට නොහැකිව පවතින බව වාර්තා වේ.
ඒ අතරින් බහාලුම් 33ක් සඳහා ප්රමිති ආයතනයේ අනුමැතිය හිමිව නොමැති අතර, තවත් බහාලුම් 30ක් පමණ අනුමැතිය ලැබෙන තෙක් රඳවා තබා ඇත.
මීට අමතරව ප්රමිතියෙන් තොර බවට තහවුරු වී විනාශ කිරීමට නියෝග කළ බහාලුම් කිහිපයක්ද ඒ අතර වේ.
අත්යවශ්ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මෙලෙස සිරවී ඇති බහාලුම් තුළ රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත්, වියළි මිරිස් කිලෝ ලක්ෂ 9කට අධික ප්රමාණයක් පවතින බවයි.
පවත්නා මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී දිවයින පුරා වියළි මිරිස් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව තොග වෙළෙඳුන් පෙන්වා දෙයි.
මේ වන විටත් පිටකොටුව තොග වෙළඳපොළේ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1,600 දක්වා ඉහළ ගොස් තිබේ.



















































