
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් 3 වැනිදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (28) දැන්වීය.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ සහ සැකකරුගේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි ජ්යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ තනූජා බණ්ඩාර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
"ස්වාමීනී... මෙම සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥතුමා ඊයේ ඉදිරිපත් කළ කරුණක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරමින් මගේ කරුණු දැක්වීම මම ආරම්භ කරනවා.
උගත් ජනාධිපති නීතිඥතුමා සඳහන් කරලා තිබුණා අද පීඩකයින් වශයෙන් ක්රියා කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකි බවට.
ස්වාමීනී, මේ කවුරුන් ගැනද සඳහන් කරන්නේ. අල්ලස් කොමිසම ගැනද? එහි විමර්ශන නිලධාරීන් ගැනද? එසේත් නැත්නම් සාක්ෂිකරුවන් ගැනද? යන ප්රශ්නය මතුවෙනවා.
මෙම විමර්ශනයේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ප්රකාශ ලබාදීලා තිබෙනවා. ඔවුන් කියාසිටිනවා මීට පෙර අවස්ථා දෙකකදී ප්රකාශ ලබාදී තිබුණත් එහිදී සත්ය කරුණු ප්රකාශ නොකළ බව. මොකද තමන්ගේත් පවුලේ අයගේත් ජීවිත වලට තර්ජන එල්ල විය හැකි බවට බියක් මතුවීම නිසා.
එහෙත් මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කළාට පස්සේ ඔවුන් තවත් ප්රකාශයක් ලබාදෙමින් සත්ය කරුණු ප්රකාශ කර තිබෙනවා. ඔවුන් කියා සිටින්නේ මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර සිටීම නිසා තමන් නොබියව ප්රකාශ ලබාදෙන බවට.
අනාගතයේදී පීඩිතයින් බවට පත්වන්නේ මේ සාක්ෂිකරුවන්ද කියන ප්රශ්නයත් මතුවෙනවා" යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ ජේෂ්ඨ සහකාර අධ්යක්ෂවරිය,
"ස්වාමීනී... මෙම සැකකරු ඇප ඉල්ලීම සඳහා ඉදිරිපත් කළ කරුණු කිසිසේත්ම සුවිශේෂී කරුණු හැටියට සලකන්න බැහැ. මව්පියන්ට පවතින අසනීපයක් සුවිශේෂී කරුණු හැටියට ඉහළ අධිකරණ වලින් ලබාදුන් තීන්දු වලින් පිළිගෙන නැහැ.
මෙම සැකකරුගේ මව්පියන්ට අසනීප තත්ත්වයක් පවතීනම් ඔවුන්ව රැක බලාගන්න විශාල පිරිසක් සිටින බව කවුරුත් දන්නා කරුණක්. ඒ අනුව ඇප ඉල්ලීම සඳහා සැකකරු විසින් ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු වශයෙන් සැලකිය නොහැකි හෙයින් එම ඇප ඉල්ලීමට විරුද්ධයි" ඇය පැවසීය.
ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
"ස්වාමීනි... මා ඊයේ දින සඳහන් කළේ අද පීඩකයින් වශයෙන් කටයුතු කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකියි යන කරුණ පමණයි. එය අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂවරිය වැරදි ලෙස වටහාගෙන තිබෙන බව පැහැදිලි වෙනවා.
අද ජනාධිපතිවරයා නඩු තීන්දුවල දින ප්රකාශයට පත්කරනවා. පනස්දෙනකුගේ ලැයිස්තුවක් තිබෙන බවත් කියනවා. ඒ නිසා ඔබ තොප්පිය හරිනම් දාගන්න.
අල්ලස් කොමිසම සහ අධිකරණය කියන්නේ ස්වාධීන ආයතන. අපි හැමෝම දූෂණයට විරුද්ධයි. ඒ වගේම දේශපාලන මතයක් නිසා ඔහුට වෙනස් ආකාරයෙන් සැලකීමට භාජනය නොකළ යුතුයි. ඒ වගේම ඔහුට විශේෂත්වයක් හිමිනොවිය යුතුයි.
මේ රටේ කිසිවෙක් නීතියට උඩිනුත් නැහැ යටිනුත් නෑ. නීතිය ඉදිරියේ සැවොම සමානයි. මෙම සැකකරුගේ මව සහ පියා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඔහුගේ මව ඊයේ දින හදවත් ශල්යකර්මයකට භාජනයවී තිබෙනවා.
ඒ අනුව මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිනවා" යැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
"ස්වාමීනි... මේ චෝදනාවලට වරදකරු වුණොත් හිමි වන්නේ වසර 10ක සිර දඬුවමක්. නමුත් මත්ද්රව්ය නඩුවලට හිමිවන්නේ මරණීය දණ්ඩනය.
එවැනි චෝදනාවලට පවා සානුකම්පිත හේතුන් මත ඇප ලබා දෙනවා. ස්වාමීනි.. මේ සැකකරු දැන් දින පනහකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. මේ ආකාරයේ රිමාන්ඩ් බාරයේ පසුවන තවත් එක නඩුවක් ගැන මට කියන්න. අපි ඉල්ලන්නේ නීතිය සැමට එක හා සමානව ක්රියාත්මක කරන ලෙසයි".
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රත්වරයා, සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනිදා ප්රකාශයට පත්කරන බව නිවේදනය කළේය.
මේ අතර ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදීගැනීමේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ, ශමින්ද්ර රාජපක්ෂ, බිස් සොලියුෂන් සමාගම සහ ප්රියංකා නියෝමාලි විජේනායක යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවට බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
මෙහිදී එම නඩුකරය නොවැම්බර් මස 19 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය, බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ එදින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කෙරුණි.



















































