
මෙරට පවතින ඛනිජ සම්පත්වල විභවතාව කඩිනමින් හඳුනා ගත යුතු බවත් ඒ සඳහා ශක්තිමත් ආයෝජකයින් කැඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙරට ඛනිජ කර්මාන්තය සඳහා ශක්තිමත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අදාළ සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් හඳුනා ගැනීම සහ ඛනිජ සංචිත හඳුනාගැනීමේ ප්රගතිය සමාලෝචනය කර තිබේ.
එලෙසම කහටගහ සහ එප්පාවල යන ප්රදේශවල ගවේෂණ කටයුතුවල ප්රගතිය සහ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
භූ විද්යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මඟින් ඛනිජ සංචිත සහ ගවේෂණ පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තා ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සකස් කර, ජාත්යන්තර වශයෙන් පිළිගත් වාර්තා බවට පත්කිරීම සඳහා අවශ්ය පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, ඉදිරියේදී ඛනිජ සංචිත පිළිබඳ ගවේෂණ කටයුතු බාහිර විශේෂඥ පාර්ශ්ව වෙත පැවරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.
තවද, මැණික් කර්මාන්තය ආශ්රිත කැණීම් කටයුතු නිත්යනුකූලව සහ විධිමත්ව සිදුකිරීම සඳහා ශක්තිමත් ප්රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ නිලධාරීන් විසින් මෙහිදී දැනුම් දෙනු ලැබීය.
මැණික් අපනයනයේදී සිදුවන වංචා අවම කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ගවල ප්රගතිය ද මෙහිදී විමසා බැලිණි.
එමෙන්ම, දේශීය මැණික් කර්මාන්තය නඟා සිටුවීම සහ විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඉදිකෙරෙන මැණික් හා ස්වර්ණාභරණ මධ්යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල ප්රගතිය ද සාකච්ඡාවට ලක් විය.



















































