
සිරදඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් කොළඹ, විහාරමහා දේවී උද්යානය ඉදිරිපිට පැවති සත්යග්රහට එරෙහිව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා, කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවී උද්යානයේ බුදු පිළිමය අසළ සත්යග්රහ ව්යාපාරයක් ආරම්භ කළ බවයි.
ඉකුත් 21ක් වනදා කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්රහයේ 106වන වගන්තිය ප්රකාරව කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ සත්යග්රහ ව්යාපාරය එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා වන නියෝගයක් ලබාගෙන තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනු ලැබීය.
කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් දුන් එම නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා එවැනි නියෝගයක් නිකුත් කිරීමට හැකියාව තිබෙන්නේ මිනිස් ජීවිතවලට තර්ජනයක් ඇතිවන අවස්ථාවක, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන අවස්ථාවක හෝ මහජන සෞඛ්යයට තර්ජනයක් ඇති විය හැකි හදිසි අවස්ථාවක පමණක් බවත් පෙත්සම්කරු චෝදනා කර තිබේ.
අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබෙන පූජ්ය උලපනේ සුමංගල හිමියන්, පූජ්ය බළන්ගොඩ කස්සප හිමි ඇතුළු සිවිල් සමාජ ක්රියාකාරිකයින් අධිකරණයට කැඳවා ඒ පිළිබඳව කරුණු විමසීමට හැකියාව තිබියදී කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයා ඒක පාක්ෂිකව අදාළ නියෝගය නිකුත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 09වන ව්යවස්ථාව යටතේ බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජය බැඳී සිටින අතර මෙම නියෝගය තුළින් එම ව්යවස්ථාවේ තත්ත්වය උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු චෝදනා කළේය.
ඒ අනුව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු එම නියෝගය අනුව කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබේ.
ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ඉල්ලා තිබේ.



















































