
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
මන්ත්රීවරයාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු 05න් 04කට ඇප හිමිවුවද එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ පොස්පේට් අපනයන බලපත්ර ලබාදීමකදී සමාගම් 03කින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් ලබාගැනීම සහ මැණික් ව්යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.
එහිදි පළමුව පොස්පේට් අපනයන බලපත්ර ලබාදීමට සමාගම් 02කින් රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වූ නඩුව කැඳවූ අතර අල්ලස් කොමිසමේ නිලධාරින් එහි වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
" ස්වාමිනි, ප්රශ්නගත සිදුවීමේදී නිසි ක්රමවේදයෙන් බැහැරව පොස්පේට් අපනයන බලපත්ර නිකුත් කිරීම සඳහා සැකකරුවන් වන චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි තර්ජනය කළ බවට වූ සිදුවීම සම්බන්ධයෙන් භූ විද්යා හා පතල් කැනීම් අධ්යක්ෂවරයාගෙන් අපි ප්රකාශ සටහන්කරගත්තා. මෙම සැකකරුවන්ට එරෙහිව දැනට දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත්කර ඇති බැවින් ඔවුන් නඩු විභාගය අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා."
අනතුරුව මෙහි පළමු සැකකාර සුමතිපාල ලියනාරච්චි වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළා.
" ස්වාමිනි, කිසියම් පුද්ගලයෙකුට අල්ලස් ගැනීමේ චෝදනාව ඉදිරිපත් කරන්නනම් ඔහු අල්ලස් අයැදීමක් පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩනවලින් කරුණු ඉදිරිපත් වියයුතුයි. නමුත් මේ සිදුවීමට අදාළව ඉදිරිපත්කර තිබෙන පළමු බී වාර්තාවේ හෝ වැඩිදුර වාර්තාවල එවැනි අල්ලස් අයැදීමක් පිළිබඳ කිසිඳු සාක්ෂි සම්පිණ්ඩනයක් නැහැ. ඒ වගේම ස්වාමිනි පළමු බී වාර්තාවේ සහ සෙසු වැඩිදුර වාර්තාවල තියෙන කරුණු පරස්පරයි. එය සුවිශේෂි කරුණක් ලෙස සලකා මගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා."
ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතාද සිය සේවාදායක චාමර සම්පත් දසනායක වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත් කළා.
" ස්වාමිනි, මේ සිදුවීමට අදාළ මුල් පැමිණිල්ල නිර්නාමිකයි කිව්වාට මගේ සේවාදායකයාට එරෙහිව සෙසු පැමිණිලි 04ම දාලා තියෙන්නේ ජනාධිපති අතිරේක ලේකම් කෙනෙක්. එය තුළම පැහැදිලිවෙනවා මෙය සම්පූර්ණයෙන්ම ද්වේශ සහගත පැමිණිල්ලක් කියලා. මෙය හරිම පිළිකුල් සහගතයි. සැකකරුවෙක් වරදකරුවෙක් වියයුත්තේ විමර්ශනයකින් අනාවරණය වන සාක්ෂි මතයි. අපි කොච්චර නඩු තීන්දු කියෙව්වත් දැන් වැඩක් නැහැ ස්වාමිනි. ඇපදීමේ සාමාන්ය බලය අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ දූෂණ විරෝධි පනතේ 149 වගන්ති ප්රකාර වාර්තාව නිසා සීමාවෙනවා. නමුත් ස්වාමිනි ඇපදීමේ අභිමතය තිබෙන්නේ ඔබතුමන්ගේ අධිකරණයට. අධිකරණයට ඉහළින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සිටින්න බැහැ. එබැවින් ස්වාමිනි මුල් බී වාර්තාවේ හෝ කිසිදු වැඩිදුර වාර්තාවක මගේ සේවාදායකයාට එරෙහිව සාක්ෂි නොමැතිවීම සුවිශේෂි කරුණක් ලෙස සලකා ඔහුට ඇප නියම කරන්න."
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සඳහා සමාගම් 02කින් රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව සැකකාර චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අනතුරුව තවත් පොස්පේට් සමාගමකින් රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබාගැනීම සහ මැණික් ව්යාපාරික සමාගම් 03කින් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වූ නඩු 04ක් වෙන් වෙන්ව අධිකරණයේ කැඳවනු ලැබීය.
එහිදීද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සහ ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතා ඒ ඒ නඩුවලට අදාළව අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවල පැවති දෝෂ අධිකරණයට පෙන්වා දුන්නේය.
ඇතැම් වැඩිදුර වාර්තාවල සැකකරුවන් සිදුකර ඇති වරද පිළිබඳ සඳහන් කර නොතිබූ අතර ජනාධිපති නීතිඥවරුන් දෙපළ මහේස්ත්රාත්වරයාට පෙන්වා දුන්නේ එම වැඩිදුර වාර්තා අක්රමවත්ව copy paste ක්රමවේදය ඔස්සේ සකසා ඇති බවය.
එම කරුණු කෙරෙහි අවධානය යොමුකළ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා එක් එක් නඩුවට අදාළව සැකකරුවන් වෙන්වෙන්ව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.
" මා සැකකරුවන්ට ඇප ප්රධානය කිරීමේදී සුවිශේෂි කරුණු ලෙස සැලකුවේ කුමක්දැයි අවබෝධයක් ඇතියි කියා සිතනවා. කරුණාකර මුල් බී වාර්තාවේ සහ අද දින ඉදිරිපත්කළ වැඩිදුර වාර්තාවල කරුණු නිසි පරිදි අධ්යනය කර මීළඟ දිනයේ අධිකරණයට කරුණු දක්වන්න. " ලෙස මහේස්ත්රාත්වරයා විමර්ශන නිලධාරීන්ට එහිදී දැනුම්දුන්නේය.
ඒ අනුව නඩු 04කට ඇප හිමිවුවද, පොස්පේට් සමාගම්වලින් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වූ එක් නඩුවකට ඇප ප්රතික්ෂේපවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි නොවැම්බර් 06 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.


















































