
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයාමක් සක්රිය වී දුම්රිය මාර්ගයට පස් සේදී ඒමේ අනතුරුදායක තත්ත්වයක් හටගෙන තිබේ.
එම අනතුරුදායක තත්ත්වය මඟහරවා ගනිමින් දුම්රිය මාර්ගය යථාවත් කිරීම සඳහා වන හදිසි ප්රතිසංස්කරණ කටයුතු හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙම ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම දින දෙක තුළ රඹුක්කන - පේරාදෙණිය සහ ගම්පොල අතර සියලුම දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එමෙන්ම, මෙම දින දෙක සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ට තමන් වැය කළ සම්පූර්ණ මුදල ඕනෑම දුම්රිය ස්ථානයකින් නැවත ලබාගැනීමට අවශ්ය පහසුකම් සලසා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය ගමනාගමනය අත්හිටුවීම නිසා මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර සිටියි.


















































