
නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු ක්ෂේත්ර නිලධාරියෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද (23) සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු එම කොමිසමේ සේවය කරන කාලයේදී නෝර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර යන ප්රදේශවල ඉඩම් කැබලි ලබා දෙන බවට හැටන් දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසයේ හිටපු නාගරික මන්ත්රීවරයෙකු සම්බන්ධ කර ගනිමින් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබා ගෙන තිබීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත සැකකරුගෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහාය.
සිදු කරන ලද දැනුම්දීමකට අනුව මේ පිළිබඳව ප්රකාශයක් ලබාදීම සඳහා අදාළ නිලධාරියා අද (23) හැටන් පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුට මුදල් ලබා දුන් හැටන් දික්ඔය නගර සභාවේ හිටපු ලංකා කම්කරු කොංග්රසයේ කාගරික මන්ත්රීවරයා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අධිකරණය මගින් සැකකරු ඇප මත මුදා හැර ඇත.
සැකකරුවන් දෙදෙනාම ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත්, එම සැකකරුවන් දෙදෙනා මේ වන තෙක් කිසිවෙකුටත් ඉඩම් ලබා නොදීම හමුවේ මුදල් ලබා දුන් අය විසින් මෙලෙස පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් මුදල් වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කියා සිටියේය.
මෙම වංචාවට සම්බන්ධ නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නිලධාරින් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් එම නිලධාරිහු වැඩිදුරටත් ප්රකාශ කළහ.


















































