
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
චුන්නාකම්, මහව, පුස්සැල්ලාව, කැලණිය සහ සාලියවැව යන පොලිස් වසම්වලදී ඊයේ (23) මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
චුන්නාකම් පොලිස් වසමේ යාපනය - කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කන්දසාමි කෝවිල් හන්දිය අසලදී ටිපර් රථයක ගැටීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අතුරු මාර්ගයක සිට පැමිණි ටිපර් රථයක් කන්කසන්තුරේ දෙසට හැරවීමට යාමේදී මාර්ගය අයිනේ ගමන් කළ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ යාපනය ප්රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර, මහව පොලිස් වසමේ මඩගල්ල - දළදාගම මාර්ගයේ මහව නගරයේ සතිපොළ හන්දියේදී බස් රථයක ගැටීමෙන් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහව දෙසට ධාවනය වූ බස් රථයක මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඔහු මහව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මියගොස් ඇත්තේ ගල්ගමුව ප්රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකි.
පුස්සැල්ලාව පොලිස් වසමේ කඩදොර හන්දිය දෙස සිට කොටගේපිටිය මාර්ගය ඔස්සේ ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෑවුමකට පෙරළී යාමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (22) සවස සිදුවූ මෙම අනතුරින් කැබ් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එහි ගමන් කළ කාන්තාවක් බරපතළ තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය රියදුරු 57 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, කාන්තාව 55 හැවිරිදි වියේ පසුවූවාය. ඔවුන් දෙදෙනාම කොටගේපිටිය, මාස්වෙල ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
කැලණිය පොලිස් වසමේ බියගම - කොළඹ මාර්ගයේ පිලපිටිය ප්රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් පදික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැලණිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදික කාන්තාවකගේ ගැටී, අනතුරුව අසල තිබූ විදුලි රැහැන් කණුවකද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. ඇය කඳාන ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවකි.
මේ අතර, සාලියවැව පොලිස් වසමේ පුත්තලම - ත්රිකුණාමලය මාර්ගයේ මහහේන්යාය හන්දිය අසලදී සිදුවූ බස් රථ අනතුරකින් තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ සිට මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී මගී බස් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී තිබේ. එහිදී බස් රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පාලමක සහ අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටී බස් රථය පෙරළී ගොස් ඇත.
අනතුරින් යතුරුපැදිකරු, බස් රථයේ රියදුරු, රිය සහායක සහ මගීන් 14 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී යතුරුපැදිකරු සහ බස් රථයේ ගමන් කළ කාන්තාවක් මියගොස් ඇත.
මියගිය යතුරුපැදිකරු සාලියවැව ප්රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මියගිය කාන්තාව රඹෑව ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි කාන්තාවකි.


















































