
කිලිනොච්චි දිස්ත්රික්කයේ තෝරාගත් ධීවරයින් 19 දෙනෙකුට සහනාධාර පදනම මත බෝට්ටු ප්රදානය කිරීම සහ ධීවරයින් 20 දෙනෙකුට නව හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකර තිබේ.
ඒ, ධීවර කර්මාන්තය නඟාසිටුවීම සහ ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත් ධීවර ප්රජාවගේ ජීවනෝපාය යළි නඟාසිටුවීමේ අරමුණෙන්ය.
‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ධීවරයින්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ක්රියාත්මක සහන වැඩසටහන යටතේ, තට්ටුවන්කෝට්ටි ප්රදේශයේ ධීවරයින් ඇතුළු තෝරාගත් ධීවරයින් 19 දෙනෙකුට මෙලෙස බෝට්ටු ප්රදානය කර තිබේ.
මේ අතර, ධීවර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්රියාවලිය වඩාත් විමධ්යගත කර කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ද ආරම්භ කෙරිණි.
මෙතෙක් කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයෙන් පමණක් මුද්රණය කර නිකුත් කළ ධීවර හැඳුනුම්පත්, ඉදිරියේදී කිලිනොච්චි දිස්ත්රික්කය තුළදීම මුද්රණය කර නිකුත් කිරීමේ පහසුකම මේ යටතේ ස්ථාපිත කර ඇත.
එම නව ක්රමවේදයේ පළමු අදියර යටතේ කිලිනොච්චි දිස්ත්රික්කයේ ධීවරයින් 20 දෙනෙකුට නව හැඳුනුම්පත් පිරිනමන ලදී.
මේ හේතුවෙන් හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා කොළඹට පැමිණීමට සිදුවීමෙන් වැය වන කාලය සහ මුදල් ඉතිරි කරගනිමින්, දිස්ත්රික් මට්ටමින්ම අදාළ සේවාව පහසුවෙන් ලබා ගැනීමට ධීවරයින්ට අවස්ථාව හිමිවන බව ධීවර කටයුතු පිළිබඳ අමාත්යාංශය සඳහන් කරයි.
ධීවර ප්රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම, ධීවර කර්මාන්තය තවදුරටත් ප්රවර්ධනය කිරීම සහ රාජ්ය සේවාවන් ජනතාවට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි ප්රධාන අරමුණ වන බව සඳහන්ය.



















































