
වත්මන් පාලනය බලයට පැමිණි දා සිට වන අලි සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති බව පවසමින්, මෙරට ප්රසිද්ධ "කාවන්තිස්ස" නම් ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් වගකීම භාරගෙන වනජීවී අමාත්යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් වහාම ඉල්ලා අස්වන ලෙස 'රට රකින පරපුර' සංවිධානය දැඩි ලෙස බල කර සිටී.
එම සංවිධානය නිකුත් කළ මාධ්ය නිවේදනයක දැක්වෙන්නේ, වසර දෙකක දේශපාලන ජයග්රහණ සමරන පාලකයන්ට මෙරට වන අලින්ගේ ජීවිත සුරැකීම වෙනුවෙන් කළ හැකි වූයේ කුමක්දැයි තමන් ප්රශ්න කරන බවය.
කාවන්තිස්සගේ මරණය හුදු වන අලියෙකුගේ මරණයක් පමණක් නොවන බවත්, ඔහු මෙරට වනස්පතියේ රජ කළ ආකර්ෂණීයම ඇත් රජු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එසේම, මෙම මරණය වනජීවී සංරක්ෂණයේ වගකීම් නිසි පරිදි ඉටු වන්නේද යන්න පිළිබඳ සමස්ත පාලන පද්ධතියටම එල්ල වන බරපතළ අභියෝගයක් බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම මරණය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වා සත්යය ජනතාවට හෙළි කරන ලෙසත්, දේශපාලන හා පරිපාලන වගකීම භාරගෙන වනජීවී අමාත්යවරයා ඇතුළු වගකිවයුතු අංශ ඉල්ලා අස්වන ලෙසත් 'රට රකින පරපුර' වැඩිදුරටත් අවධාරණය කර සිටී.
දේශපාලන ජයග්රහණ සැමරීමට පෙර රැකගත නොහැකි වූ වනජීවී ජීවිත වෙනුවෙන් වගකීම භාරගත යුතු බවත්, වන අලි ජීවිතවලට යුක්තිය ඉටු වන තෙක් තමන්ගේ හඬ නිහඬ නොවන බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



















































