
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට තීරණය වී තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර ඇති බවය.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර ඇති බව සඳහන් වේ.
ඔක්තෝබර් 20 අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
ඔක්තෝබර් 21 බදාදා පෙරවරු 11.30 සිට ප.ව 5.00 දක්වා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.
ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙක දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබේ.
ඔක්තෝබර් 23 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වැත් වීමට නියමිතව ඇති බව සඳහන් වේ.



















































