
ඩිජිටල් ගෙවීම් ක්රමවේද අවභාවිත කරමින් සිදුවන සයිබර් මූල්ය වංචා හේතුවෙන් පාකිස්තානය දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වෙයි.
එමඟින් සිදු වන අලාභය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5ක් තරම් ඉහළ අගයක් ගන්නා බවද විදෙස් මාධ්ය පවසයි.
ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකු සමූහය විසින් තායිලන්ත මහ බැංකුවේ ද සහයෝගීතාවයෙන් නිකුත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
මෙම මාර්ගෝපදේශ සැකිල්ල සකස් කර ඇත්තේ ඩිජිටල් මූල්ය සේවාවලට එල්ලවන සයිබර් මූල්ය වංචා වැළැක්වීම, හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා රටවලට සහාය වීමේ අරමුණිනි.
පාකිස්තානයට සිදුවන මෙම ආර්ථික අලාභය, ගෝලීය වශයෙන් වාර්තා වන මූල්ය වංචා අලාභයන්හි සාමාන්ය අගය වන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.45ක මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා අතර, එය එරට ඩිජිටල් ආර්ථිකය හමුවේ ඇති බරපතළ අභියෝගයක් පෙන්නුම් කරන බවද අදාළ වාර්තාවේ දැක්වෙයි.
ගෝලීය වශයෙන් වැඩිම මූල්ය වංචා අලාභයන් සිදුවන්නේ ආසියානු කලාපයේ බවත්, එහි ප්රමුඛතාව පාකිස්තානයට හිමිවන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.



















































