
ශ්රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් අධිකාරියට පත් කිරීමේ හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය අද (16) පෙරවරුවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්රාමික) මහතාගේ ප්රධානත්වයෙන් චීනවරාය ගුවන් හමුදා විද්යාපීඨයේදී පැවැත්විණි.
“සුරකිමු ලකඹර” යන තේමාව යටතේ පැවැති මෙම උත්සවයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ද එක්ව සිටියේය.
ශ්රී ලංකාවේ ගුවන් අවකාශය සුරක්ෂිත කිරීමේ අභිමානවත් මෙහෙවරට එක්වන නව නිලධාරීන් 43 දෙනෙකු මෙහිදී අධිකාරියට පත්කරනු ලැබූහ.
ඒ අතර නිලධාරීන් 29 දෙනෙකු සහ නිලධාරිනියන් 14 දෙනෙකු වූහ.
අධිකාරියට පත් වූ නිලධාරීන් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ අංක 37, 39 සහ 40 කැඩෙට් පාඨමාලා, ශ්රී ලංකා ගුවන් හමුදාවේ අංක 65, 67 සහ 69 කැඩෙට් නිලධාරී පාඨමාලා මෙන්ම අංක 21 කැඩෙට් නිලධාරිනී පාඨමාලාව නියෝජනය කළහ.
මෙම අභිමානවත් පෙළපාලියේ අණදෙන නිලධාරියා ලෙස ගෲප් කැප්ටන් චමිල් හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය. උත්සවයට එක්වූ ශ්රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එක්ව විචිත්රවත් සරඹ සංදර්ශනයක් ද ඉදිරිපත් කළහ.
එමෙන්ම ගුවන් හමුදා පැරෂුට් භටයන් නිල් අහසේ විවිධ රටා මවමින් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර, අංක 01 පියාසර පක්ෂාංගය විසින් ගුවන්යානා සංදර්ශනයක් ද පවත්වන ලදී.
මෙහිදී පාඨමාලාවන්හි විශිෂ්ට දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් වෙත විශේෂ සම්මාන පිරිනැමීම ද සිදුකෙරිණි. ඒ අනුව පියාසර නිල ලාංඡනය ෆ්ලයින් ඔෆිසර් පී. වී. බිනාදිත් වෙත පිරිනැමුණු අතර, සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් එච්. ජී. ඩබ්ලිව්. ඩී. ජයරත්න සම්මානයට පාත්ර විය.
එමෙන්ම දක්ෂතම ගුවන් නියමු කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් ආර්. එම්. එච්. කේ. රත්නායක ද, දක්ෂතම පරිපාලන කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් එච්. ජී. ඩබ්ලිව්. ඩී. ජයරත්න ද සම්මාන දිනාගත්හ.
දක්ෂතම තොරතුරු තාක්ෂණ ඉංජිනේරු කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් බී. පී. සචින්ත ද, දක්ෂතම පරිපාලන රෙජිමේන්තු කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් ටී. එච්. කේ. මෙන්ඩිස් ද සම්මාන හිමිකර ගත්හ.
දක්ෂතම ගුවන් මෙහෙයුම් කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් වයි. එම්. ඩී. පී. බණ්ඩාර ද, දක්ෂතම සැපයුම් හා පරිපාලන කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් එස්. ආර්. ඇලෙක්සැන්ඩර් ද සම්මානයට පාත්ර වූහ. දක්ෂතම ගුවන් පියාසර හා තාක්ෂණික පරිපාලන කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් එම්. බී. එම්. උයාරා සම්මාන දිනාගත්තේය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අධිකාරියට පත් වූ නව නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සවය ශ්රී ලංකා ගුවන් හමුදාවේ අනාගත නායකත්වය ශක්තිමත් කරමින්, රටේ ගුවන් අවකාශය සුරක්ෂිත කිරීමේ වගකීම භාරගන්නා නව නිලධාරීන්ගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.



















































