
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.
පසුගිය 10 වන දින ඓතිහාසික දළදා මාළිගා පරිශ්රයෙන් ආරම්භ වූ පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව යන නගර පසු කරමින් ඊයේ (14) දිනයේ කඩවත නගරයෙන් අවසන් වුණි.
ඒ අනුව අද උදෑසන කඩවත නගරයෙන් ආරම්භ වන පාගමන කොළඹ දක්වා පැමිණීමට නියමිතව තිබේ.
පාගමන සහ එහි අවසානය සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක්වු පූජ්ය උලපනේ සුමංගල හිමි,
“අද අපේ අවසාන දවස. අපි බලකර කියා සිටිනවා මේ මහා සංඝරත්නය සිව්දිගින් වැඩම කළේ හිස් අතින් යන්න නෙමෙයි. ඒ නිසා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සියලුදෙනාගේ අපේක්ෂාව වෙච්ච ඥානසාර හිමිට නිදහස ලබාදීම සිදුකරන හැටියට අපි ආණ්ඩුවට බලකර සිටිනවා. මෙහෙමත් කියලා ඇහෙන්නේ නැත්නම් අපි වෙන විදියකට හරි තේරෙන විදියට කියන්නත් සුදානම් බව මේ වෙලාවේ ආණ්ඩුවට කියා සිටිනවා.
කොළඹ අපි පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා කියන තැනකට. පැලවත්තට ඕනේ නම් පැලවත්තට, පාර්ලිමේන්තුවට කිව්වොත් පාර්ලිමේන්තුවට එනවා, ජනාධිපති මන්දිරයට කිව්වොත් එතැනට එනවා කියන ඕනෑම තැනකට එන්න අපි සුදානම්. අපි ඒ පණිවුඩය ලැබෙන තුරු බලාගෙන සිටිනවා. එසේ නොවන්නේ නම්, ජනාධිපතිතුමා ඉන්න තැනකට එන්න අපි සුදානම්. අද දවසේ දෙකින් එකක් විසඳාගැනීමට අපි සුදානම්. ආණ්ඩුවට අපි ඒක බලකර කියා සිටිනවා. මෙහෙමත් අවිහිංසාවාදීව කියලත් තේරෙන්නේ නැත්නම් ජනාධිපතිවරයාට තේරෙන විදියට කියන්න අපිට සිද්ධවෙයි.”
මේ අතර වර්තමානයේ භික්ෂු සමාජය දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආචාර්ය පුජ්ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසයි.
























































