
2050 වසර වනවිට ‘ශුන්‍ය කාබන්’ඉලක්කය සපුරාගැනීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ලබන 14 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනයට සමගාමීව සිදු කරන වැඩසටහන් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සියලු රාජ්‍ය, පෞද්ගලික සහ නියාමන ආයතන ඒකාබද්ධ කරගත් විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් රාජ්‍ය අංශය, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඩිජිටල්කරණයට ලක්වෙමින් පවතියි.
එවන් පසුබිමක ඩිජිටල් උපාංග භාවිතය ඉහළ යාම පාරිසරික අභියෝගයක් වුව ද, වගකීම් සහගත ලෙස ඒවා එක්රැස් කිරීම, නැවත භාවිතය සහ විද්‍යාත්මක ප්‍රතිචක්‍රීකරණය මඟින් තිරසාර හරිත ආර්ථික වටිනාකම් උත්පාදනය කරගැනීමේ මහඟු අවස්ථාවක් පවතින බව මෙහිදී අවධාරණය කෙරිණි.
විද්‍යුත් අපද්‍රව්‍ය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා සමස්ත ජීවන චක්‍රයම ආවරණය වන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයකි.
මේ වෙනුවෙන් ප්‍රතිපත්තිමය සහ නීතිමය පසුබිම ශක්තිමත් කරමින්, ජාතික පාරිසරික පනතට හඳුන්වා දීමට නියමිත “පුළුල් කරන ලද නිෂ්පාදක වගකීම්” විධිවිධාන මෙන්ම, කඩිනමින් අනුමැතිය ලබාගැනීමට නියමිත විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඉදිරියේ දී ක්‍රියාවට නැංවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
පාරිභෝගික ජනතාවට සහ ආයතනවලට තම භාවිතයෙන් ඉවත් කරන ලද විද්‍යුත් උපකරණ පහසුවෙන් හා සුරක්ෂිතව බැහැර කිරීමට ඉඩ සලසමින්, දිවයින පුරා පිහිටි සන්නිවේදන සේවා මධ්‍යස්ථාන ජාලය සහ විශේෂිත එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය.
මෙම ජාතික මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහාය මධ්‍යස්ථානය සහ පළාත් පාලන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
නියාමන ආයතන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජා අපද්‍රව්‍ය එක්රැස් කිරීම හා වෙන් කිරීම විධිමත් කිරීමට කටයුතු කරනු ඇත.
නවෝත්පාදන, පර්යේෂණ සහ විද්‍යාත්මක ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද හඳුන්වා දෙමින් ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, විදුලි සංදේශ සමාගම්, අලුත්වැඩියාකරන්නන් සහ ලියාපදිංචි ප්‍රතිචක්‍රීකරණ ආයතන එක්ව මෙම කටයුත්ත සිදු කිරීමට අපේක්ෂිතය.



















































