
අමෙරිකා එක්සත් ජනපදය තුළ සිටිමින් සැකසහිත ලෙස හැසිරෙමින් ඔත්තු බැලූ බවට චෝදනා ලැබූ කාන්තාවක් FBI නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අමෙරිකාව පවසයි.
කැලිෆෝනියාවේ පදිංචි 34 හැවිරිදි Wanying Z නැමැති මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී චීනය බලා යාමට නියමිතව තිබූ ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදීය.
මෙම කාන්තාව 2025 වසරේදී සියැටල් නගරය වෙත ගොස් ඇති අතර, තායිවාන රජයේ උසස් නිලධාරියෙකුගේ සමීපතම ඥාතියෙකු පිළිබඳව නිරීක්ෂණය කර ඇති බව පැවසෙයි.
එහිදී ලබාගත් ඡායාරූප, වීඩියෝ දර්ශන සහ රථවාහන අංක තහඩු පිළිබඳ තොරතුරු ඇය අදාළ පාර්ශ්වයන් වෙත යවා ඇති බවද පැවසෙයි.
තවද, ඇය සිය සගයෙකු සමඟ එක්ව මෙම සංචාරය සංවිධාන කර ඇති අතර, පරීක්ෂකයන්ට හසු නොවී සිටීම සඳහා විශේෂිත ඔත්තුසේවා ක්‍රමවේද භාවිත කර ඇති බවද සඳහන්ය.
අත්අඩංගුවට පත් කාන්තාව ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අමෙරිකානු බලධාරීන් පියවර ගෙන ඇත.





















































