
මෙරට සිදුවන ළමා අපයෝජන ඩිජිටල් යුගය සමග වෙනස්වීමට භාජනයවී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
පසුගිය වසර කිහිපය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තාවූ පැමිණිලිවලින් නිරීක්ෂණවී ඇති බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කළාය.
විශේෂයෙන්ම ළමයින් සමාජ මාධ්‍ය භාවිතය තුළ හිංසනයට ලක්වීම, අඛණ්ඩව පාසල් නොයැවීම ඉහළයාම, මව්වරුන් විදේශගතවීම, පවුල් ආරවුල් සහ දෙමාපියන් දික්කසාද වීම, ළමුන් විසින් අනෙක් ළමුන්ගේ ගරුත්වයට හානිවන ලෙස කටයුතු කිරීම හා අපයෝජන සිදුකිරීමට පෙළඹවීම වැනි ගැටලු ඉහළයාමේ ප්‍රවණතාවය මත ළමා අපයෝජන වර්ධනයවීමක් දක්නට ලැබේ.
තවද, ළමුන් වැඩි වශයෙන් ඩිජිටල් තිර භාවිත කිරීම හමුවේ ඔවුන්ගේ ළමා කාලය අහිමිවීමත්, අධ්‍යාපන කෙරේ ඇති අවධානය අඩුවීමත් යන කාරණා මත සවිමත් ළමයෙකු නිර්මාණය කිරීමත් අද වන විට අප හමුවේ අභියෝගයක් වී ඇත.
ළමයින්ට එරෙහි සිදුවන සියලුම ආකාරයේ අපයෝජනය (කායික,ලිංගික,මානසික,හා නොසලකාහැරීම) වලට ගොදුරුවීම වළක්වාගැනීම සහ එවැනි අපයෝජනයට ගොදුරුවූ ළමුන් ආරක්ෂාකිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛ වගකීමක් වන අතර ඒ සඳහා නිරන්තරයෙන් ඇප කැප වී සිටින බව ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය දැනුම්දෙයි.
එසේම ළමා අපයෝජනයන් සිදුවීම් කිසිවිටක සමතයකට පත් කිරීම කිසිම කෙනෙකුට සිදු කළ නොහැකි අතර එවැනි සිදුවීම් නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම්දීමට කටයුතු කරන ලෙස සභාපතිවරිය ඉල්ලා සිටියි.
ළමයින් ආරක්ෂා කිරිමේ ප්‍රථම වගකීම තම පවුලෙන් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින අතර සියලු ළමයින් ආරක්ෂා කිරීමට අප සැම කටයුතු කළ යුතුය.





















































