
ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (30) ඇප මත මුදාහැරුණද ඔහුට බන්ධනාගාරයෙන් පිටව යාමට අවස්ථාවක් නොලැබුණි.
ඒ අදාළ ගනුදෙනුවටම අදාළව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බැවින්ය.
මෙම එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.
එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මන්ත්‍රීවරයාවද බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දැක්වීය.
"ස්වාමිනි, මෙම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් එකම ක්‍රියාවලියකදී අනාවරණය වන වැරදි 02ක් නිසා තමයි අල්ලස් නඩුව සහ මුදල් විශුද්ධීකරණ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව ඒකාබද්ධ විමර්ශනයක් කරන්නේ.
එබැවින් එම චෝදනා දෙකටම අදාළව එකම අධිචෝදනා පත්‍රයක් ගොනුකරන්න අපි බලාපොරොත්තු වෙනවා".
අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.
"ස්වාමිනි, මෙම සිදුවීමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමයි දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත්කර තිබෙන්නේ.
ඒ නිසා තමයි මහේස්ත්‍රාත්වරයාට ඇප දීමට බලයක් නැත්තේ. නමුත් මේ නඩුවට අදාළව එවැනි තත්ත්වයක් නැහැ. මෙහිදී මාගේ සේවාදායකයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් සාමාන්‍ය ඇප පනත සලකා බැලිය යුතුයි. ඇප පනත ප්‍රකාරව ඇපදීමයි රීතිය. ඇප ලබා නොදීමයි ව්‍යතිරේකය.
එබැවින් මගේ සේවාදායකයාට ඇප ලබා නොදීමට ඇප පනතේ 14 වන වගන්තිය යටතට වැටෙන හේතුවක් නැහැ. ඔහු රටින් පැනයන කෙනෙක් නොවෙයි. මේක බලය තියෙන කාලේ කරපු බවට එල්ලවන චෝදනාවක්. දැන් බලය නැති නිසා එවැනි වැරැද්දක් යළි කරයි කියන්නත් බැහැ.
ඊළඟට මේ නඩුවේ සාක්ෂිකාර නිමල් පෙරේරා මගේ සේවාදායකයා එක්ක ජන්ම වෛරයෙන් ඉන්නේ. ඒ නිසා අපිට සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නත් බැහැ. මේ සියලු කරුණු සලකා බලා ඕනෑම කොන්දේසියක් යටතේ මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා".
එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාද ප්‍රතිචාර දැක්වීය.
"ස්වාමිනි, මේ නඩුවේ ඇප ලබාගත් වෙනත් සැකකරුවන් රට ගිහින් තිබෙන නිසා මොහු විදෙස්ගත නොවෙයි කියලා සහතිකයක් දෙන්න මට බැහැ.
ඊළඟට අපි සාක්ෂිකරුවෙක් කිරීමට තීරණයකර තිබෙන නිමල් පෙරේරා ජීවිත තර්ජන නිසයි රටහැර ගොස් තිබෙන්නේ. ඔහු ප්‍රකාශයක් දෙන්නත් එන්න බැහැ කිව්ව නිසා විමර්ශන නිලධාරින් ඔස්ට්‍රේලියාවට ගිහින් මෙල්බන් කොන්සියුලර් කාර්යාලයේදීයි ප්‍රකාශ ලබාගත්තේ.
ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ මේ සැකකරුගේ නම සෘජුව සඳහන්ව නැතත්, පාතාලය හරහා තමන්ගේ ජීවිතයට තර්ජන එල්ලකර ඇති බව සඳහන් වෙනවා. මම ඒ කව්ද කියලා නම්ගම් කියන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොහුට ඇප ලබාදීම තුළ අධිකරණ ක්‍රියාවලියට බලපැම් වෙන්න පුළුවන්.
ඒ වගේම ස්වාමිනි මේ වෙද්දිත් මේ සැකකරු ඔක්තෝබර් 13 වනතුරු රක්ෂිත බන්ධනාගාරගත වී තිබෙන්නේ. මේ නඩුවට ඇප ලබාදුන්නා කියලා ඔහුට එළියට එන්න බැහැ. කොහොම වුණත් ස්වාමිනි ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප ලබා නොදීමට කරුණු තෘප්තවෙලා නැහැ කියලා ඔබතුමා සිතනවානම්, ඔබගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අපි විරුද්ධ නැහැ."
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.
එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බවටද කොන්දේසි පැනවිණි.





















































