
ඩුබායිහි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබේ.
යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් ඊට හේතුවී ඇති බව සඳහන් වෙයි.
අදාළ යානය අඩි 34,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී තත්ත්පර 30ක් වැනි සුළු කාලයක් තුළ හදිසියේම සහ ඉතා වේගයෙන් අඩි 14,000ක් පමණ පහළට ගමන් කර ඇති බවට ගුවන් ආරක්ෂණ දත්ත මගින් නිරීක්ෂණය වී තිබේ.
අනතුරුව අවස්ථා දෙකදී ගුවන් යානයෙන් හදිසි සංඥා ද නිකුත් කර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් පසුව එම මගී ගුවන්යානය සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර 150 දෙනෙකු පමණ වූ යානයේ ගමන් කළ මගීන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ යානයේ නියමුවා සහ සහයක නියමුවා අතර ඇති වූ ගැටුමක් මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
ගැටුම පාලනය කිරීමට යානයේ සිටි මගීන් ද මැදිහත්වී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.





















































