
ජාතික ආරක්ෂක අරමුදල සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජාතික ආරක්ෂක අරමුදල සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල මෙන්ම ‘රණවිරු සේවා අරමුදල’ සහ ත්‍රිවිධ හමුදාවේ හා අනෙකුත් සේවාවන්හි විශේෂ සුබසාධන වැඩසටහන් ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය.
එමෙන්ම, එලෙස ඒකාබද්ධ කිරීමක් සිදුකිරීමේ ශක්‍යතාව මෙන්ම ඊට අදාළ මූල්‍ය, නීතිමය සහ පරිපාලනමය කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙමගින්, ඉහත සඳහන් අරමුදල් මගින් සහන සැලසීම විධිමත් කිරීම මෙන්ම, එම සහන සඳහා සුදුසුකම් ලබන රණවිරුවන් සහ රණවිරු පවුල් සංඛ්‍යාව පුළුල් කිරීම ද අපේක්ෂා කරනු ලබයි.
මීට අමතරව, රණවිරුවන් මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය පියවීම සඳහා මූල්‍ය සහන ලබාදීමේ හැකියාව, ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේද සහ ඊට අදාළ ආයතනික වැඩපිළිවෙළ හඳුනා ගැනීම පිළිබඳව ද මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරිණි.





















































