
පොළොන්නරුව, ගල්තඹරාව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේදී 31 හැවිරිදි දෙදරු පියෙකු අභිරහස් ලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඊශ්වරගේ දොන් දිල්ෂාන් මධුෂංක නැමැති අයෙකි.
මියගිය අයගේ බිරිඳ සඳහන් කර ඇත්තේ, ඊයේ (30) පස්වරුවේ තම සැමියා මිතුරන් සමඟ මත්පැන් පානය කර පසුව නිවස අසලට පැමිණ තමා සමඟ බහින්බස්වීමක් සිදුකරගෙන නිවසින් පිටව ගිය බවයි.
අනතුරුව රාත්‍රියේ නිවසට නොපැමිණි ඔහු, අද උදෑසන නිවසේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී සොයාගෙන ඇත.
ඒ වන විටත් තුවාල සහිතව සිටි ඔහු මියගොස් සිටි බව බිරිඳ වැඩිදුරටත් පවසයි.
මෙය මත්පැන් පානය කිරීමේදී සිදුවූ ඝාතනයක්ද නැතහොත් මාර්ගයේ වැටී සිටියදී යම් රථවාහන අනතුරකට ලක්වීමෙන් සිදුවූ මරණයක්ද යන්න පිළිබඳව පොලීසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසියේ කණ්ඩායම් කිහිපයක් එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.





















































