
දිවයිනේ ප්‍රදේශ තුනකින් හෙරොයින් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසුගිය 26 වන දින බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 842ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත එදිනම යායවත්ත, පලපොත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
අදාළ නිවසේ නිවසේ හිමිකරු නීතිඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්ව ඇති අතර වැටලීම සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය හා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, ඊයේ (30) දහවල් වැල්ලම්පිටිය පොලිස් වසමේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 14ක් හා හෙරොයින් ග්‍රෑම් 14ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මේ වනවිට වැල්ලම්පිටිය පොලීසියට ඉදිරිපත් කර ඇති අතර, ඔහු 30 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, ඊයේ සවස කුරුඳුවත්ත පොලිස් වසමේ ටොරින්ටන් මාවත ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 08ක් සමඟ 23 හැවිරිදි කොළඹ 7 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.





















































